Wednesday, November 20, 2024

General line - 0115112241

ජනපතිවරණයේදීත් තැපැල් ඡන්දය කාණ්ඩ තුනකට සීමා වෙයි




සිය ඡන්ද මධ්‍යස්ථානය වෙත ගොස් ඡන්දය දීමට නොහැකි වෙතැයි සාධාරණ බියක් ඇති ඡන්ද හිමියන්ට වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය දීම සඳහා පහසුකම් සලසා දෙන ලෙසට ඉල්ලුම් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඊට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පැවසුවේ 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනතේ 119 (ආ) වගන්තිය යටතේ ඊට අදාළව ප්‍රතිපාදන සලසා ඇති බවයි.

ඒ අනුව අදාළ ඉල්ලුම් පත්‍ර සියලු දිස්ත්‍රික්කවල තේරීම් භාර නිලධාරී, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින් ලබාගත හැකි වනවා. නීත්‍යානුකූලව නාම යෝජනා දැන්වීමේ දින සිට දින 07ක් තුළ එනම් අගෝස්තු පළමුවනදා හෝ ඊට පෙර අදාළ ඉල්ලුම්පත් එවිය යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

ඒ අනුව එම ඉල්ලුම්පත් මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය, සරණ මාවත, රාජගිරිය යන ලිපිනයට එවිය යුතු වනවා. 

ඉල්ලුම්කරුවන් පදිංචි ප්‍රදේශයෙන් ග්‍රාම නිලධාරීගෙන් ඉල්ලුම් පත්‍ර සහතික කර ගත යුතුයි. ජාතික හැඳුනුම්පත් අංකය ඉල්ලුම්කරු විසින් ඉල්ලුම් පත්‍රයේ සඳහන් කළ යුතු වනවා.

ග්‍රාම නිලධාරී සහතිකය නොමැති ඉල්ලුම්පත්‍ර ප්‍රතික්ෂේප කරන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවා.

ඉල්ලුම්කරුවන් විසින් 2024 වර්ෂයේ ඡන්ද විමසීම සඳහා වලංගු ඒකාබද්ධ ඡන්ද හිමි නාම ලේඛනය පදනම් කරගෙන ඡන්ද හිමි නාමලේඛනය ඇතුළත් තොරතුරු ඉල්ලුම්පත්‍රවල සඳහන් කළ යුතු වනවා.

අදාළ නාම ලේඛන තොරතුරු සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, කච්චේරිවල, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින් හෝ මැතිවරණ කොමිෂන් සභාවේ www.elections.lk වෙබ් අඩවියෙන් ලබා ගත් හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, කාණ්ඩ තුනකට හැර විශේෂ රාජකාරීවල නිරතවන පිරිස් සඳහා මෙවර ජනාධිපතිවරණයේදීද තැපැල් ඡන්ද හෝ නියමිත දිනට පෙර ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දිය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

අදාළ අංශවලින් ඒ සඳහා අවශ්‍ය අනුමැතිය නොලැබීම ඊට හේතුව බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ.

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර හිමි කාණ්ඩ සම්බන්ධයෙන්ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කරුණු දැක්වුවා.