Wednesday, November 20, 2024

General line - 0115112241

ජනපති රනිල්ගෙන් මහින්ද රාජපක්ෂයට ලිපියක්




ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ 2024 ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වීමට තීරණය කළ බවයි.

ජනාධිපතිවරණයේදී බහුතර පක්ෂවල සහය ලබා ගැනීමේ අරමුණින් තමන් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට අදහස් කළ බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.

ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහයෝගය තමන් අපේක්ෂා කරන බවත් පොදු ජන පෙරමුණේ ප්‍රතිචාරය හැකි ඉක්මනින් තමන් වෙත ලබාදෙන ලෙසයි ජනාධිපතිවරයා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ.

මේ අතර හෙට දිනයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස්වී ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධ අවසන් සාකච්ඡාව විජේරාමයේ පිහිටි මහින්ද රාජපක්ෂ මතාගේ නිල නිවසේදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 40කට වැඩි පිරිසක් ජනාධිපති අපේක්ෂකයා ලෙස මේ වන විටත් ඉදිරිපත් වී ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පලකිරීමට තීරණය කර තිබෙන බවයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ගාල්ලේ පැවති ජන රැලියක් අමතමින් පැවසුවේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන නියෝජිතයින් ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අවස්ථා කිහිපයකදීම සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ අතර එම සාකච්ඡා ද විසදුමකින් තොරව අවසන් වුණා.

එමෙන්ම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මහතා ද ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පසුගිය දා සාකච්ඡා වට කිහිපයක් පැවැත් වූ අතර එම සාකච්ඡා ද විසදුමකින් තොරව අවසන් වූ බවයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ.

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් සිදුකරන සාකච්ඡා පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු මෙලෙස පිළිතුරු ලබා දුන්නා.