හමාස් සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන ඉස්මයිල් හානියේ ඝාතනය සම්බන්ධයෙන් ඉරානය දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා.
එහිදී ඉරානය තර්ජනය කර ඇත්තේ අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට දරුණු දඬුවම් ලබා දෙන බවයි.
හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යේෂ්ඨ අණ දෙන නිලධාරියා ලෙබනනයේදී ඝාතනය කළ බව ඊශ්‍රායලය පිළිගෙන ඇතත් ඉස්මයිල් හානියේගේ ඝාතනය සම්බන්ධයෙන් ඔවුන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැහැ.
කෙසේවෙතත් මෙම ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු මාධ්‍ය ඇමතූ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ තම රටට එරෙහි සතුරන්ට ඉකුත් දිනවලදී පහර දුන් බවයි.
ඉස්මයිල් හානියේගේ ඝාතනයෙන් පසු උණුසුම් වෙමින් පවතින මැද පෙරදිග තවත් උණුසුම් කරමින් හමාස් සංවිධානයද දැඩි ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
ඔවුන් පවසා ඇත්තේ ඉස්මයිල් හානියේගේ ඝාතනය විශාල ප්‍රතිවිපාක ඇති කරන සිද්ධියක් බවයි.
සටන දැන් නව මානයකට ගෙන යනු ඇති බව ඔවුන් අවධාරණය කර තිබෙනවා.
කෙසේවෙතත් එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් අනතුරු අඟවා ඇත්තේ කලාපයේ එදිරිවාදීකම් දරුණු තත්ත්වයකට පත් වීමේ අවදානමක් පවතින බවයි.
හමාස් සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන ඉස්මයිල් හානියේ ඝාතනය කෙරුණේ ඉරානයේ සංචාරයක යෙදී සිටියදීයි.
නවතම වාර්තාවල දැක්වෙන්නේ ඔහු මීට පෙර ඉරානයේ සිදු කළ සංචාරවලදී නැවතී සිටි ගොඩනැගිල්ලටම මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි.
මේ අතර අමෙරිකාව විසින් සිය පුරවැසියන්ට නව සංචාරක මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරමින් අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබෙනවා. ඒ, ලෙබනනයේ සංචාරය කිරීම සම්බන්ධයෙන්.
පවතින උණුසුම් තත්ත්වය හමුවේ ලෙබනනයේ සංචාරය නොකරන ලෙසටයි අමෙරිකාව මෙන්ම බි්රතාන්යයද සිය පුරවැසියන්ට අනතුරු අඟවා ඇත්තේ.
මේ අතර, ඉස්මයිල් හානියේ ඝාතනයෙන් පසු ගාසා තීරයේ ඔහුගේ නිවසට යමින් සිටි අල්ජසීරා මාධ්‍යවේදීන් දෙදෙනෙකුද, එල්ල වූ රොකට් ප්‍රහාරයකින් ඝාතනයට ලක්ව තිබෙනවා.