හමාස් සංවිධානයේ දේශපාලන නායකයාගේ ඝාතනයත් සමග මැද පෙරදිග කලාපයේ ගැටුම්කාරී තත්ත්වයක් මතු වුවහොත් එහි සෘජු බලපෑම ශ්‍රී ලංකාවට එල්ල වනු ඇතැයි දේශපාලන විශ්ලේෂක මොහාන් සමරනායක පවසනවා.
නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ ඉරානයේ ප්‍රතිචාරය මත එය තීරණය වනු ඇති බවයි.
දේශපාලනික සහ යුධ උණුසුමක් නිරන්තරයෙන් පවතින මැද පෙරදිග කලාපය ශ්‍රී ලංකාවට මෙන්ම සමස්ත ලෝකයටම මෙතරම් බලපාන්නේ ඇයි?
මැද පෙරදිග කලාපයේ ගැටුම් උත්සන්න වුවහොත් ගෝලීය සැපයුම් ජාලය බිඳ වැටී එහි බලපෑමට ශ්‍රී ලංකාවද ලක්විය හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
හමාස් සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන ඉස්මයිල් හානියේ ඝාතනය හෙළා දකිමින් රටවල් රැසක් දැනටමත් සිය විරෝධය පළ කර තිබෙනවා.
ඒ අතරට පලස්තීනය, රුසියාව, තුර්කිය, ඉරානය, ඉරාකය, කටාර්, චීනය, ජෝර්දානය සහ ලෙබනනයද අයත්. ඉරානය පවසා ඇත්තේ හමාස් සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන ඉස්මයිල් හානියේගේ රුධිරය කිසිදා අපතේ නොයනු ඇති බවයි.
මේ අතර, ඉරානයේ සහ ලෝකයේ ඇති විය හැකි තත්ත්වයන්ගෙන් ශ්‍රී ලංකාවට එල්ලවිය හැකි බලපෑම්වලට මුහුණදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ දිනයේම විශේෂ කමිටු 03 ක් පත් කරනු ලැබුවා.
ඒ, ශ්‍රී ලංකාවට එල්ල විය හැකි ආරක්ෂක සහ ආර්ථික බලපෑම්වලට මුහුණදීමේ පූර්ව සූදානමක් ලෙසයි.
විශේෂ කමිටු 03ක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.
ඒ අනුව ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂ කමිටුවක්, ආර්ථිකයට සිදුවන බලපෑම සම්බන්ධයෙන් සොයා බැලීමේ කමිටුවක් සහ එම කමිටු දෙකෙහි යෝජනා අධීක්ෂණය කිරීම සඳහා ඉහළ මට්ටමේ කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත්තේ.
අදාළ සිදුවීමත් සමඟ ඉරානය ඇතුළු මැද පෙරදිග සහ ලෝකයේ මතුවන තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට සහ ආර්ථිකයට යම් සෘජු හෝ වක්‍ර බලපෑමක් එල්ල විය හැකි නම් ඊට ගත යුතු පූර්වගාමී පියවර පිළිබඳ සොයා බැලීම එම කමිටු වෙත පවරා තිබෙනවා.
එමෙන්ම ඉන්ධන සහ අනෙකුත් අත්‍යාවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය ලබා ගැනීමේදී යම් බාධාවක් මතුවිය හැකි නම් රටේ මහජනතාවට ඉන් බලපෑමක් ඇති නොවන අයුරින් කටයුතු කිරීමද මෙම කමිටු වෙත පැවරුණ වගකීමක්.