ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.
ඒ, ඊයේ රාත්‍රියේ කොළඹදීයි. ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය තමන්ට ලබාගැනීම සදහා ජනාධිපතිවරයා එලෙස හිටපු ජනාධිපතිවරයා හමුවි ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
ඒ, ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය අපේක්ෂා කරමින්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දෙන බව පසුගියදා ප්‍රකාශ කළා.
ඊට බලපෑ හේතු සම්බන්ධව මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.
සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ සජිත් ප්‍රේමදාස හමුවී ඇති බවට ජනාධිපති උපදේශක ආශු මාරසිංහ කරන ලද ප්‍රකාශය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රතික්ෂේප කර තිබෙනවා.
විපක්ෂ නායකවරයා හමුවීමට තමන්ට කිසිදු හේතුවක් නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මාධ්‍ය හමුවේ කියා සිටියේ.
ඒ අනුව ජනාධිපති උපදේශක ආශු මාරසිංහ සිදුකර ඇති එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවා.
මේ අතර, රටේ පොදු ජනතාව වෙනුවෙන් නොසිතා විදේශීය මූල්‍ය ආයතනයක අවශ්‍යතා සපුරාලීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
කුරුණැගල ප්‍රදේශයේ පැවැති සමගි ජන බලවේගයේ භික්ෂු උපදේශක සභාව අමතමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා.
කෙසේවෙතත් කඩා වැටී ඇති රට ගොඩගැනීම සඳහා රටේ සියලු පුරවැසියන්ට විශාල වගකීමක් පැවරී ඇති බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ පැවති ලංකා ගුරු සේවා සංගමයේ ජාතික සමුළුව අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.
සිය පාර්ශව විසින් ගොඩනැගූ නව සන්ධානය ඉදිරියේදී පුළුල් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.