මන්නාරම වෙඩිතලතීවූ ප්‍රදේශයේ සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමට ඉන්දියාවේ අදානි සමාගම වෙත ලබා දී තිබෙන අමාත්‍ය මණ්ඩල අනුමැතිය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් අද කැඳවනු ලැබුවා.
ඒ, එස්. තුරෙයි රාජා, ඒ එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදීයි.
ඒ අනුව එම පෙත්සම් සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 14 දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.
එහිදී මෙම පෙත්සම්වලට අදාළ සීමිත විරෝධතා තිබේ නම් ඒවා අගෝස්තු මස 20 වනදාට පෙර ගොනු කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළ විනිසුරු මඩුල්ල ඊට අදාළ ප්රතිවිරෝධතා තිබේනම් ඒවා සැප්තැම්බර් මස 13 වනදාට පෙර ගොනු කරන ලෙසත් පෙත්සම්කාර පාර්ශවයට දැනුම් දුන්නා.
ඉන් අනතුරුව පෙත්සම් සලකා බැලීම ඔක්තෝම්බර් මස 14 වන දා සහ 29 වනදා සිදු කරන බවත් විනිසුරුමඬල්ල නියෝග කළා.
පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශ්ව පහක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ මන්නාරම වෙඩිතලතීවූ ප්‍රදේශයේ යෝජිත සුළං බලාගාරය ඉදිකරනු ලැබුවොත් ඒ තුළින් පාරිසරික ජෛව විවිධත්වයට දැඩි බලපෑමක් එල්ලවන බවයි.
මෙම සුළං බලාගාරය පිහිටුවීමට යෝජිත ප්‍රදේශය මෙරටට සංක්‍රමණික පක්ෂීන් ඇතුළු වන ප්‍රධාන ප්‍රවේශ මාර්ගය වන බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් මෙම බලාගාරය ඉදිකරනු ලැබුවොත් ඉන් සංක්‍රමණික පක්ෂීන්ගේ ජීවිත දැඩි අනතුරට ලක්වීමට ඉඩ තිබෙන බවත් සඳහන් කළා.
ඒ අනුව අදාළ විදුලි බලාගාරය ඉදිකිරීම සඳහා අමාත්‍ය මණ්ඩල තීරණය මත ඉන්දියාවේ අදාළ සමාගම අතර ඇති කරගෙන තිබෙන ගිවිසුම රජයන් දෙකක් අතර ඇතිකරගත් ගිවිසුමක් වශයෙන් සැලකීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් පෙත්සම්කරුවන් පෙන්වා දෙනවා.
ඒ අනුව අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් එම තීරණය බල රහිත බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.