Tuesday, November 19, 2024

General line - 0115112241

ටිපර් රථයේ හුළං යැවූ පොලිස් නිලධාරියාට එරෙහිව විනය පරීක්ෂණ




වත්තල ප්‍රදේශයේදී ටිපර් රථයක රෝදයක හුළං යැවූ පොලිස් නිලධාරියෙකුට එරෙහිව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, නාගරික රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාරගේ උපදෙස් මතයි.

වත්තල ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ නතර කර තිබූ ටිපර් රථයක රෝදයක එම පොලිස් නිලධාරියා විසින් එලෙස හුළං යවා තිබෙනවා.

 වත්තල පොලීසියට අනියුක්තව සිට මේ වන විට නාගරික රථවාහන කොට්ඨාසයේ රාජකාරී සිදු කරන පොලිස් සැරයන්වරයෙකු විසිනුයි එය සිදු කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් නාගරික රථවාහන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ අතර හයිලෙවල් මාර්ගයේ කොට්ටාව සහ පන්නිපිටිය අතර අද පෙරවරුවේ පැයි කිහිපයක් දැඩි රථවාහන තදබදයක් පැවතියා.

ඒ පන්නිපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක පැවැත්වූ චෙස් තරඟාවලියක් හේතුවෙන්.

එම තරඟාවලියට සහභාගි වීම සඳහා රථවාහනවලින් බොහෝ පිරිසක් පැමිණීම හේතුවෙන් එලෙස රථවාහන තදබදයක් හටගෙන තිබූ බවයි පොලීසිය පැවසුවේ.

එම තරඟාවලිය සම්බන්ධයෙන් අදාළ පාසල විසින් පොලීසිය දැනුවත් කර නොතිබූ බවද වාර්තා වුණා. 

එලෙස තරඟාවලියක් සංවිධාන කිරීම පිළිබඳ පොලීසිය දැනුවත් කර තිබුණේ නම් රථවාහන තදබදයක් ඇති නොවන ආකාරයට පොලිස් නිලධාරීන් යොදවා කටයුතු කිරීමට හැකියාවක් තිබූ බවයි පොලීසිය පැවසුවේ.