අපවත්වී වදාළ කොළඹ, හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද උදෑසන සිට ගිහි පැවිදි විශාල පිරිසක් එම විහාරස්ථානයට පැමිණෙමින් සිටිනවා.
ඒ අතර දේශපාලඥයන් ද සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ උන්වහන්සේ අපවත්වීම පිරිමැසිය නොහැකි පාඩුවක් බවයි.
ගංගාරාම පොඩි හාමුදුරුවන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ද ගංගාරාම විහාරස්ථානයට පැමිණියා.
එහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද පැවසුවේ උන්වහන්සේගේ අපවත්වීම මුළු රටටම පාඩුවක් බවයි.
උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද පැමිණියා.
ගංගාරාම විහාරස්ථානයේ පොඩි හාමුදුරුවන් රටට කළ සේවාව මිල කළ නොහැකි බවයි කාදිනල් හිමිපාණන් මාධ්‍ය හමුවේ කියා සිටියේ.
කලක් රෝගාතුරව සිටි ගංගාරාම විහාරස්ථානයේ පොඩි හාමුදුරුවන් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව අපවත් වුණා.
ඒ වනවිට උන්වහන්සේ 81ක් වන වියේ පසු වුණා.
මේ අතර අපවත්වී වදාළ ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමියන්ගේ ආදාහන පූජෝත්සවය ලබන සඳුදා පස්වරුවේ රාජ්‍ය අනුග්‍රහය සහිතව එම විහාරස්ථාන පරිශ්‍රයේදී සිදු කෙරෙනවා.
ඒ අනුව එදින පස්වරු 02 සිට රාත්‍රී 08 දක්වා කාලය තුළ එම ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ.
මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය ඒ අනුව සීමා කෙරෙනවා.
ධර්මපාල මාවත, ජේම්ස් පීරිස් මාවත හන්දියෙන් ජේම්ස් පීරිස් මාවත දෙසට ඇතුල් වීම, ජේම්ස් පීරිස් මාවත පෙරහැර හන්දියෙන් කොම්පඤ්ඤ වීදිය හන්දිය දෙසට ඇතුල් වීම සීමා කරන බවයි පොලිසිය පැවසුවේ.
රථ වාහන ගාමනාගමනය සීමා කෙරෙන අනෙකුත් මාර්ග ද අයත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කළ නිවේදනය නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙබ් අඩවියේ ඇතුළත්.
මේ අතර ආදාහන ජූජෝත්සවය සඳහා පැමිණෙන මහජනතාවගේ රථ වාහන නැවැත්වීමට අල්ටෙයාර් ගොඩනැගිල්ල පිටුපස භූමියේ පහසුකම් සලසා ඇති බවයි පොලිසිය පැවසුවේ.
එමෙන්ම අද සිට ගංගාරාම විහාරස්ථානයට ඇතුල් වන සියලුම වාහන ජේම්ස් පීරිස් මාවත, ජිනරතන මාවත හන්දියෙන් ඇතුල් විය යුතු වනවා.
ඩෝසන් වීදියෙන් ජිනරතන මාවතට ඇතුල් වීම වාසා තබනු ලබන බවත් ජිනරතන මාවතේ රථ වාහන ගමනා ගමනය එක් දිශාවකට පමණක් සිදුකරන බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.