ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශව කිහිපයකට බෙදීයාම සැලකිල්ලට ගනිමින් තමන් කටයුතු කළ යුත්තේ කුමන පාර්ශවයක් සමඟදැයි නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව විමසීමක් සිදුකර තිබෙනවා.
එහිදී ලැබෙන තීරණය අනුව ඊට අදාළ පාර්ශව සමඟ ඉදිරියේදී තමන් කටයුතු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවය, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ පාර්ශවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ පාර්ශවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳ විවිධ අදහස් පළ කරමින් සිටිනවා.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදෙන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ පාර්ශවය ඉකුත් දා ප්‍රකාශ කර තිබුණා.
එවන් පසුබිමක් තුළයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඊයේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය විපක්ෂ නායකවරයා වෙත ලබාදෙන බවයි.
කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව, මධ්‍යම කාරක සභාව හා දේශපාලන මණ්ඩලය යන තුනම ඒකමතිකව තීරණය කළේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර ජජනාධිපතිවරණයේදී සහයෝගය පළ කිරීමට බවයි අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් එම පක්ෂයේ උප ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනට එක්වෙමින් මෙලෙස අදහස් පල කළා.