Monday, November 18, 2024

General line - 0115112241

වේවැල්දෙණියේ සහ බණ්ඩාරගම අනතුරු දෙකකින් පහක් මරුට




කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය හන්දිය ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරෙන් තවත් තිදෙනෙකු තුවාල ලබා වරකාපොල රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මාර්ගය අසල නතර කර තිබූ ලොරි රථයක පිටුපසින් පැමිණි ත්‍රීරෝධ රථයක් ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථයේ පුද්ගලයන් 06 දෙනෙකු සිට ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔවුන්ගෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඒ අතරට මාස හතරක බිළිදෙකු ද වනවා.

තුවාල ලැබූ සෙසු තිදෙනා ද ත්‍රීරෝද රථයේ ගමන් කළ අය බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර බණ්ඩාරගම - කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල, ගල්කඩේ හන්දිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තවත් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන වෙළඳසැලක ගැටී ඇති බවයි.

එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිටි  කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු බස් රථයේ ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔවුන් අකුරැස්ස හා වෙරළපනාතර ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.

අනතුරෙන් තුවාල ලැබූ බස් රථයේ ගමන් ගත් කාන්තාවක් හොරණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථ රියදුරා බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.