Sunday, November 17, 2024

General line - 0115112241

කෙහෙලිය ඇතුළු පිරිසකගෙන් වන්දි ඉල්ලා අධිකරණයට පෙත්සමක්

උදය කුමාර




ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කමක් සිදු කිරීමෙන් පසුව රෝහලින් ලබා දුන් ඖෂධ භාවිතා කිරීම හේතුවෙන් ඇස් පෙනීම අහිමි වූ බවත් ඒ වෙනුවෙන් එවක සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වග උත්තරකරුවන් ගෙන් රුපියල් කෝටි 10 බැගින් වන්දි අය කරදෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා පුද්ගලයන් තුන් දෙනෙකු විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු ගොනුකර තිබෙනවා. 

එම නඩු ගොනුකර ඇත්තේ කඳපොළ ප්‍රදේශයේ පදිංචි එම්. රාජරත්නම් ඇතුළු තුන්දෙනෙකු විසින්.

එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, එම අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත,  ජාතික ඖෂධ නියාමන අධිකාරිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු 11 දෙනෙකු නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ තමන් නුවරඑළිය මහ රෝහල ඇතුළු රෝහල්වල ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සිදුකළ බවයි. ඉන් පසුව තමන්ට රෝහලෙන් ලබාදුන් ඖෂධයක් ඇසට යෙදූ බවත් ඉන් අනතුරුව ඇසේ වේදනාවක් හටගත් අතර පසුව ඇසේ පෙනීම අහිමි වූ බවත් ප්‍රකාශ කර තිබෙනවා. 

රෝහලින් ලබාදුන් ඖෂධ භාවිත කිරීමෙන් මෙම තත්ත්වය උද්ගත වූ බව සඳහන් කරන පෙත්සම්කරුවන්  මේ හේතුවෙන් තමන්ට දෛනික රැකී රක්ෂා කටයුතු පවා ඉටුකර ගැනීමට නොහැකි වී ඇති බවත් පෙන්වා දෙනවා.

මෙම තත්ත්වයට හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් සම්පූර්ණයෙන්ම වගකිවයුතු බවත් තමන්ට සිදුවූ හානිය වෙනුවෙන් ඔවුන්ගෙන් රුපියල් කෝටි 10 බැගින් වන්දි අය කරදෙන නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලමින් පැමිණිකරුවන් විසින් කොළඹ දිසා අධිකරණය ඉදිරියේ මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.