Saturday, November 16, 2024

General line - 0115112241

ඇමති ප්‍රසන්නගෙන් මන්ත්‍රී දයාසිරිට එන්තරවාසියක්




අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 200 ක වන්දියක් ඉල්ලා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින්  කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකරට එන්තරවාසියක් යොමු කර තිබෙනවා.

ඒ තමන්ට ලැබුණු සුරා බදු බලපත්‍රයක් ගම්පහ, මාකේවිට ප්‍රදේශයේ පදිංචි සුරා බදු නිලධාරියෙකුගේ නමට නිකුත් කර ඇති බවට සිදුකළ සාවද්‍ය ප්‍රකාශයෙන් තම කීර්තිනාමයට සිදුවූ හානියට රුපියල් මිලියන 200 ක මුදලක් වන්දි ලෙස ගෙවන ලෙස ඉල්ලමින් 

මෙම එන්තර වාසි යොමු කරමින් අමාත්‍යවරයා, මන්ත්‍රීවරයාට දැනුම් දී ඇත්තේ අදාල වන්දි මුදල දින 14 ඇතුළත නොගෙවන්නේ නම් එම මුදල හා ඒ මත නෛතික පොලියද, නඩු ගාස්තු අය කරමින් නඩු පවරන බවයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ  නීතිඥය නදීශ හෙට්ටිආරච්චි එන්තරවාසියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ 
තම සේවාදායකයා වන අමාත්‍ය ප්‍රසන්න රණතුංග සම්බන්ධයෙන් මාතර, අකුරැස්ස පැවැති රැස්වීමකදී කළ කථාව රූපවාහිනි, පුවත්පත්, සමාජ මාධ්‍ය හා රූපවාහිනිවල උදෑසන පුවත්පත් ප්‍රවෘත්ති කියවීමේ වැඩසටහන් ඔස්සේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පළ කළ අදහස් අසත්‍ය බවයි 

තවද අදාල අසත්‍ය ප්‍රකාශය මගින් වත්මන් රජයේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයෙකු හා මහ මැතිවරණයේ වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගෙන පාර්ලිමේන්තුවට තේරීපත්වුණු තම සේවා දායකයා සම්බන්ධයෙන් පවතින මහජන විශ්වාසය බරපතල පළුදුවීමක් සිදුවීමට හැකියාව ඇති බවද එන්තරවාසියේ සඳහන් වෙනවා.

නීතීඥ නදීෂ හෙට්ටිආරච්චි එන්තරවාසීයේ වැඩිදුරටත් සඳහන් කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් සිදුකළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් තම සේවා දායකයා සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් විමසුව බවත්  තම සේවාදායකයාගේ නමින් හෝ ඔහුගේ නිර්දේශ මත වෙනත් අයකුට කිසිදු සුරාබදු බලපත්‍රයක් නිකුත් කර නොමැති බව  තම සේවා දායකයා සහතික වී ඇති බවයි.