Saturday, November 16, 2024

General line - 0115112241

අරුගම්බේදී විදේශිකයෙකු බේරා ගනිද්දී සීගිරියේදී විදේශිකයෙකු මියයයි

කාංචන ආරියදාස




සීගිරි පර්වතයේ බිතු සිතුවම් ගුහාව අසලදී ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් විදෙස් ජාතිකයෙකු මියගොස් තිබෙනවා.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 70ක් වූ එංගලන්ත ජාතිකයෙකු බවයි පොලිසිය පැවසුවේ.

එම විදෙස් ජාතිකයා අහුන්ගල්ල ප්‍රදේශයේ  හෝටලයක  නවාතැන් ගෙන තිබුණා.

ඔහු සිය පවුලේ සාමාජිකයන් සමග සිගිරිය නැරඹීමට පැමිණ ඇති බවයි පොලිසිය පැවසුවේ.  

සිගිරිය තරණය කරන අතරතුරදී හදිසියේ අසනීප වූ ඔහු සිගිරිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

රෝහලට ඇතුලත් කර සුළු මොහොතකින් අනතුරුව එම විදේශිකයා මියගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ අතර මුහුදේ දිය නාමින් සිටියදී අනතුරට පත් වූ විදෙස් ජාතිකයෙකු බේරාගෙන තිබෙනවා.

ඊශ්‍රායල ජාතිකයෙකු වන ඔහු අනතුරට ලක්ව තිබුණේ අරුගම්බේ, උල්ල ප්‍රදේශයේ දිය නාමින් සිටියදීයි.

වහා ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරුගම්බේ කඳවුරේ ජීවිතාරක්ෂක කණ්ඩායම විසින් අනතුරට ලක් වූ එම විදෙස් ජාතිකයා බේරාගෙන තිබෙනවා.

මූලික ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව එම විදෙස් ජාතිකයා පිටත්කර හැරි බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර ගල්කිස්ස වෙරළ තීරයේ දිය නාමින් සිටියදී අනතුරට ලක් වූ ළමුන් තිදෙනෙකු බේරාගෙන තිබෙනවා.

ඒ, ගල්කිස්ස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින්.

එම ළමුන් දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන යමින් තිබුණා.

වහා ක්‍රියාත්මක වූ ජීවිතාරක්ෂක නිලධාරින් විසින් බේරාගත් එම ළමුන්ට මූලික ප්‍රථමාධාර ලබාදී කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය පැවසුවේ.

එලෙස අනතුරට ලක්ව ඇත්තේ කොළඹ 9 ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි වියේ පසුවන ළමුන් තිදෙනෙක්.