Thursday, December 26, 2024

General line - 0115112241

ඉරානය දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරයි




ඉරානය තුළ දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පවසා තිබෙනවා.        

ඒ, ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියගිය හිස්බුල්ලා නායක හසන් නස්රල්ලාට ශෝකය පල කිරීම සඳහායි.

ඊශ්‍රායලය තහවුරු කළේ බේරූට් ප්‍රදේශයට එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් හිස්බුල්ලා සංවිධානයේ නායකයා මිය ගිය බවයි.

ප්‍රහාර හේතුවෙන් තවත් 06 දෙනෙකු මියගොස් ඇති අතර 91 දෙනෙකු ද තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන විප්ලවවාදී ආරක්ෂක හමුදා ජෙනරාල්වරයකු ද මිය ගොස් තිබෙනවා.

කෙසේවෙතත් ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත්තේ හිස්බුල්ලා නායකයාගේ මරණය ඓතිහාසික හැරවුම් ලක්ෂයක් වනු ඇති බවයි.

ඉරානයේ උත්තරීතර නායකයා පවසන්නේ පළිගැනීමකින් තොරව හිස්බුල්ලා නායක හසන් නස්රල්ලාගේ මරණයට සාධාරණයක් ඉටු නොවන බවයි.

කෙසේවෙතත් ඊශ්‍රායල විසින් මාස ගණනාවක සිට හසන් නස්රල්ලාගේ ඝාතනය සැලසුම් කර ඇති බවට මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

නස්රල්ලාගේ අනුප්‍රාප්තිකයා සම්බන්ධයෙන් මෙවන් විට මතභේද ගණනාවක් පවතිනවා.

ඒ අනුව නස්රල්ලාගේ අනුප්‍රාප්තිකයා වශයෙන් හෂෙම් සෆිඩින් සහ නයිම් කසෙම් මේ වනවිට යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ.