Thursday, December 26, 2024

General line - 0115112241

ඊශ්‍රායල් පලස්තීන ගැටුමට ඉරානයත් අත දායි - එක රැයකදී මිසයිල ප්‍රහාර 180ක්




පලස්තීන - ඊශ්‍රායල් යුධ ගැටුම තවත් උණුසුම් කරමින් ඉරානයද ඊට මැදිහත් වී තිබෙනවා.

ඒ අනුව ඊයේ රාත්‍රියේ ඉරානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කර දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එහිදී එල්ල කර ඇති මිසයිල ප්‍රහාර සංඛ්‍යාව 180ක්. එහෙත් ඉන් බහුතරයක් විනාශ කිරීමට හැකි වූ බවයි ඊශ්‍රායලය පවසන්නේ. 

කෙසේවෙතත් මෙම ප්‍රහාරය හේතුවෙන් ඊශ්‍රායලය කුපිත වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ ඉරානය ඊයේ රාත්‍රියේ විශාල වරදක් සිදු කළ බවයි.

ඊට වන්දි ගෙවීමට සිදු වන බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.

ඊශ්‍රායලයට හිතවත් රටවල් රැසක්ද ප්‍රහාරය හෙළා දැක තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසා ඇත්තේ ඊශ්‍රායලයට පූර්ණ සහයෝගය ලබා දෙන බවයි. 

දිනෙන් දින උණුසුම් වන ඊශ්‍රායල - පලස්තීන යුධ ගැටුම් හේතුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයද අද රැස් වීමට නියමිතයි.

ඒ, දෙරට අතර සටන් විරාමයක් ඇති කර ගැනීමේ අරමුණෙන්.

අමෙරිකාව සහ යුරෝපා සංගමය ඊට මැදිහත් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් ඊශ්‍රායලය අදත් පලස්තීනයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා.