Wednesday, November 6, 2024

General line - 0115112241

අල්ලස් ගත් RMV නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ඇතුළු තිදෙනෙකු යලි බන්ධනාගාරගත කෙරේ

උදය කුමාර




බස් රථ තුනක පරම අයිතිය, අයිතිකරු වෙත පවරාදීම සඳහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ඇතුළු තිදෙනෙකු ලබන 11 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

ඒ, එම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන  තවදුරටත් පැවැත්වෙන බවයි.

මෙම විමර්ශනයට අදාළව වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් එම නිලධාරින් අධිකරණයට දැනුම් දුන්නා. 

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේ අල්ලස් කොමිසම විසින් එල්ල කර තිබෙන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි.

කෙසේවෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරුවන් ලබන 11 වනදා දක්වා තව දුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළ පිරිස අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ බස්රථ පැවරුම් අංශයේ නියෝජ්‍ය කොමසාරිස්, එහි  විෂය ලිපිකරුවෙකු සහ තැරැව්කරුවෙකු ඇතුලත් වනවා.