Monday, January 13, 2025

General line - 0115112241

මත්ද්‍රව්‍ය කිලෝ 468 ක් සමඟ ලාංකික බහුදින ධීවර යාත්‍රාවක් මාලදිවයිනේදී අත්අඩංගුවට




මත්ද්‍රව්‍ය තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු මාලදිවයින් වෙරළ ආරක්ෂක බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මාලදිවයින් අනන්‍ය ආර්ථික කලාපය වෙත ශ්‍රී ලංකාවට අයත් බහුදින ධීවර යාත්‍රාවක් ඇතුලුවී ඇති බවට මාලදිවයින් වෙරළ ආරක්ෂක බලකායේ සමුද්‍රිය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් කොළඹ සමුද්‍රිය සේවිම් හා මුදාගැනිම් සම්බන්ධිකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දීමක් සිදුකර තිබෙනවා. 

ඒ අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදාව එම යාත්‍රාව පිළිබඳ නාවික හමුදාව සතු තොරතුරු පරික්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ එම බහුදින ධීවර යාත්‍රාව මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ යාත්‍රාවක් වන බවයි. 

නාවික හමුදාව විසින් ලබාදුන් එම බුද්ධි තොරතුරු අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බලකාය විසින් එම යාත්‍රාවේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකර තිබෙනවා. 

එහිදී අයිස් මත්ද්‍රව්‍ය ක්‍රිලෝ ග්‍රෑම් 344 ක්, කොකේන් මත්ද්‍රව්‍ය ක්‍රිලෝ ග්‍රෑම් 124 ක් සමඟ එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් පස් දෙනෙකු මාලදිවයින් වෙරළ ආරක්ෂක බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21 ත් 37 ත් අතර වන දෙවිනුවර සහ තිකුණාමලය ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවටයි අනාවරණය වී ඇත්තේ. 

එම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන එන ලද මත්ද්‍රව්‍ය තොගයක්ද නැතහොත් වෙනත් කලාපීය රාජ්‍යයකට රැගෙන යන්නක් ද යන්න පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු නාවික හමුදා බුද්ධි අංශය සහ මාලදිවයින් බුද්ධි අංශය එක්ව සිදු කරණු ලබනවා.