තද වැසි, තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 දක්වා වලංගු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ගිනිකොනදිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව සැළකිලිමත් වන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වූ අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 දී බටහිර-වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇති බවයි.
එය දෙසැම්බර් 11 වනදා පමණ වනවිට ශ්‍රී ලංකාව සහ තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිතදිග බෙංගාල බොක්ක වෙත ළඟාවීමට ඉඩ ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව පැයට කිලෝ මීටර් 60 ක පමණ ඉතා තද සුළං සමග තද වැසි පැවතිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.