Saturday, January 11, 2025

General line - 0115112241

ගෑස් සිලින්ඩරයේ ඉතිරි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ගැනත් මතභේදයක්




නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා නම් කරමින් එම පක්‍ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දි තිබෙනවා. 

පසුගිය මහමැතිවරණයේ ප්‍රතිඵල අනුව ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තු ආසන 02 ක් හිමිකර ගත්තා. 

ඉන් එක් ආසනයක් සඳහා මීට පෙර රවී කරුණානායක මහතා පත් කෙරුණා.

කෙසේවෙතත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ නායකයන් විසින් බවයි එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසන්නේ. 

නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරියට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්පූර්ණ කිරීමට කිසිදු බලයක් පවරා නොමැති බවයි. 

එම  තීරණය උල්ලංඝනය කරමින්  ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම විශ්වාසය සම්පූර්ණයෙන් කඩ කිරීමක් මෙන්ම දේශපාලන සොරකමක් ලෙසයි වජිර අබේවර්ධන මහතා පෙන්වා දෙන්නේ.

රවී කරුණානායක මහතාගේ පත්කිරීම සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීම සඳහා මේ වන විටත් කමිටුවක් පත්කර තිබෙනවා. 

කමිටු වාර්තාව ලැබුණු පසු නිසි ක්‍රියාමාර්ග ගන්නා බවයි හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසුවේ.

ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කිරීම සම්බන්ධයෙන් ද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හවුල්කාර පක්ෂ සමග සාකච්ඡා කර නිසි ක්‍රියාමාර්ග ගන්නා බවද එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා පැවසුවා.