Saturday, January 11, 2025

General line - 0115112241

කුඩු රසල්ට ඩුබායි සහ සාජා අධිකරණ වරෙන්තු නිකුත් කරයි




සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන කුඩු රසල් නමැත්තාට ඩුබායි සහ සාජා අධිකරණ වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වනවා. 

ඒ, මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් බවටයි වාර්තා වන්නේ.

මෙරට මත්ද්‍රව්‍ය ජාලය සහ සංවිධානාත්මක අපරාධ ජාලයේ ප්‍රධානියෙකු බව කියන රසල් නමැත්තා මීට වසර කිහිපයකට පෙර ඩුබායි රාජ්‍යයට පලා ගොස් තිබුණා. 

තවත් ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකල්ලි ප්‍රධානියෙකු බව කියන රත්මලානේ අංජු නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු ලෙසද රසල් ඉස්මින් නමැත්තා කටයුතු කරන බවයි පැවසෙන්නේ. 

කෙසේවෙතත් මේ වන විට ඔහු අංජු පාර්ශවයෙන් වෙන් වී මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන යන බවයි වාර්තා වන්නේ.

මීට පෙර අයිස් මත්ද්‍රව්‍ය සමග ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන ඇති රසල් එම චෝදනාවෙන් නිදහස්ව තිබුණා. 

කෙසේ වෙතත් මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ඩුබායි සහ සාජා අධිකරණ නිකුත් කර වරෙන්තුවලට අදාලව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ඩුබායි සහ සාජා පොලිසි මෙහෙයුම් සිදු කරන බවයි වාර්තාවන්නේ. 

මෙරට පොලිසිය ද රසල් නමැත්තා මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින අතර ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදනද ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු  සඳහන් කළේ.