Friday, January 17, 2025

General line - 0115112241

ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සදහා මැතිසබයේ විවාදයට දින නියම වේ




පාර්ලිමේන්තුව ලබන 21 වනදා සිට 24 වනදා දක්වා රැස්වීමට තීරණය වී තිබෙනවා. 

පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එම තීරණය ගත් බවයි.  

ඒ අනුව ලබන 21 වනදා පෙරවරු 09.30 සිට පෙරවරු 10.00 කාලය ස්ථාවර නියෝග 22හි සඳහන් 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා. 

පෙරවරු 10.00 සිට පෙරවරු 11.00 දක්වා කාලය වෙන්කර ඇත්තේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රකාශන සඳහායි. 

පෙරවරු 11.00 සිට පෙරවරු 11.30 කාලය ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.

පෙරවරු 11.30 සිට ‍පස්වරු 05.30 දක්වා කාලය වෙන්කර ඇත්තේ රජය විසින් ගෙනඑනු ලබන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමටයි. 

එමෙන්ම ලබන 22 වනදා සිට  24 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය වූ බවයි මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවේ.