අල්ලස් කොමිසම විසින් හිටපු වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවක් වැඩිදුර සාක්ෂි විභාගය සඳහා ජුනි මස 03 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.
ඒ, මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදුකල යැයි චෝදනා කරමින් ඔහු ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා රාජකාරී කටයුත්තක් සඳහා විදේශගත වී සිටින හෙයින් සාක්ෂි විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව වැඩිදුර සාක්ෂි විභාගය ජුනි 03 වනදා දක්වා කල් තැබූ මහාධිකරණ විනිසුරුවරයා එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් අවවාද කළා.