Wednesday, January 22, 2025

General line - 0115112241

මොරටුව වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීමට ඉඩම් පවරා දීමට කැබිනට් අනුමැතිය




මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම සඳහා කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාගොඩ - බටහිර ග්‍රාම නිලධාරි වසමේ පිහිටි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට සහ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් කොටස් දෙකක් එම විශ්ව විද්‍යාලය වෙත පවරා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. 

ඊට අදාල ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය වශයෙන් අග්‍රාමාත්‍යවරිය සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින්.

2019 වසරේ උසස් පෙළ ප්‍රතිඵල මත බඳවා ගත් මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පළමු වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායම මෙම වසරේ ජූලි මාසයේදී රෝහල් පාදක සායනික පුහුණුව ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. 

ඒ සඳහා වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පහසුකම් භාවිතා කිරීමට මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබුණා.

එහෙත් ගැටළු කිහිපයක් හේතුවෙන් එම රෝහල සායනික පුහුණුව සඳහා යොදා ගැනීමට නොහැකි වී තිබෙනවා. 

ඒ අනුව මොරටුව වෛද්‍ය පීඨයේ සායනික පුහුණුව සඳහා කළුතර ශික්ෂණ රෝහල සහ ගල්ලස්ස මාතෘ හා ළමා රෝහල යොදා ගැනීමටයි තීරණය කර ඇත්තේ.