Wednesday, November 20, 2024

General line - 0115112241

සාමාන්‍ය පෙළ විභාගය අද සිට




2016 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (06) ආරම්භ වනවා. නව හා පැරණි නිර්දේශ යටතේ පැවැත්වෙන මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් හත් ලක්ෂයකට ආසන්න ප‍්‍රමාණයක් පෙනී සිටීමට නියමිතයි.

මධ්‍යස්ථාන 5669ක් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 538ක් යටතේ පැවැත්වෙන මෙවර විභාගයේ පරිපාලන කටයුතු සඳහා හැට පන්දහස් පන්සීය විසි හතරක කාර්යමණ්ඩලයක් යොදවා තිබෙනවා.

උදෑසන 8.30ට ආරම්භ වන විභාගය සඳහා අවශ්‍ය කටයුතු සියල්ල සූදානම් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර ප‍්‍රකාශ කළේ. කල් වේලා ඇතිව විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙස ද විභාග කොමසාරිස්වරයා අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියා.

ජංගම දුරකථන සහ ස්මාර්ට් අත් ඔරලෝසු විභාග මධ්‍යස්ථාන තුළට රැගෙන යාම තහනම් බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

සාමාන්‍ය පෙළ විභාගය යනු සිසුන්ගේ ජීවිතයේ ඉදිරි ගමන තීරණය කරන තීරණාත්මක අවස්ථාවක් බවයි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය යසාංජලී ජයතිලක පෙන්වා දෙන්නේ.

ආතතියකින් තොරව සැහැල්ලූවෙන් විභාගයට මුහුණදීම තුළින් එය පහසුවෙන් ජයගත හැකි බවයි මහාචාර්යවරිය වැඩිදුරටත් සඳහන් කළේ.