දිවිනැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 29ක් සාපරාධී ලෙස පරිහරණය කරමින් ඉකුත් ජනාධිපතිවරණ සමයේ ලිත් පනස් ලක්ෂයක් මුද්‍රණය කිරීමට යොදා ගැනීමේ සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (06) නියෝග කළා. ඒ, නීතිපතිවරයා විසින් අදාළ නඩුව ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන්.
ඒ අනුව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ කිත්සිරි රණවක යන අය නිදහස් කිරීමටයි කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී එම්. රණවක නියෝග කළේ.
අද දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා කියා සිටියේ නඩුවට අදාළ අධි චෝදනා ගොනු කරන අවස්ථාවේදී නීතිපතිවරයාගේ අභිමත ලිපියක් එම අධි චෝදනා සමග ගොනු කිරීමට නොහැකි වී ඇති බවයි.
ඒ අනුව ගොනුකර ඇති අධි චෝදනා ඉල්ලා අස්කර ගැනීමටත් ඉදිරියේදී නැවත අධි චෝදනා ගොනු කිරීමට බලාපොරොත්තු වන බවද නීතිපතිවරයා අධිකරණයට දැන්වූවා.
ඒ අනුව විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නිකුත් කර තිබූ විදෙස් තහනම් සහ ඇප කොන්දේසි ඉවත් කිරීමට මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළා.