Wednesday, November 20, 2024

General line - 0115112241

ජයලලිතාගේ වත්කම් ශෂිකලාටද?




තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් මියයාමත් සමග ඇයගේ වත්කම් බෙදී යන ආකාරය පිළිබඳ ගැටලු සහගත තත්වයක් මතුවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ජයලලිතා ජයරාම්ගේ වර්තමාන වත්කම් ප්‍රමාණය ඉන්දීය රුපියල් කෝටි 114කට ආසන්න බවයි වාර්තා වෙන්නේ.

එම වත්කම ඇය ඊට පෙර වසරවල ප්‍රකාශ කල වත්කමට වඩා යම් වැඩිවීමක් ලෙසද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ජයලලිතා සතුව තිබු එම වත්කම්වලින් කෝටි 41.63 ක් චංචල වත්කම් වනවා. නිශ්චල දේපළවල වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 72.09 ක්. ප්‍රධාන අමාත්‍යවරිය සතුව රත්‍රන්වල වටිනාකම නිශ්චිතව තක්සේරු කර නැහැ.

ඊට හේතුව වී ඇත්තේ ඒ සම්බන්ධයෙන් නඩුවක් විභාග වෙමින් පැවතීම බවයි වාර්තා වෙන්නේ. ඇය සතුව රිදී කිලෝ 1250 ක් තිබු අතර එහි වටිනාකම ඉන්දීය රුපියල් 31,250,000 ක්.

එමෙන්ම ජයලලිතා ජයරාම් සතුව වාහන 9 ක් ද තිබු බව  අනාවරණ වී තිබෙනවා. මීට අමතරව විවිධ ආයෝජන රැසක්, වෙළඳ ගොඩනැගිලි ඇතුලු ආදායම් මාර්ග කිහිපයක් ද ජයලලිතා සතුව පැවතියා.

මෙම වත්කම් හිමිවන්නේ කාට ද යන්න මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැහැ. එහෙත් ජයලලිතාගේ ළගම මිතුරියක් වු ශෂිකලා නටරාජන්ට සහ ඥාති පුත්‍රයකුට මෙම වත්කම් හිමිවනු ඇති බවටයි මත පළවී ඇත්තේ. ජයලලිතාගේ අවසන් කටයුතු වෙනුවෙන් මැදිහත්ව කටයුතු කරනු ලබන්නේ ද ශසිකලා සහ ඇයගේ පවුලේ සාමාජිකයන් බවයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ. ජයලලිතා ජීවත්ව සිටියදී තිරය පිටුපස සිට ඇගේ බලය භාවිත කළේ ශෂිකලා බවටයි වරෙක චෝදනා එල්ල වුණේ.

ජයලලිතාගේ රෝගී තත්වය පිළිබඳ අවසන් මොහොත තෙක් කිසිදු වාර්තාවක් නිකුත් කිරීමට බලධාරීන් කටයුතු නොකළේද එය අසා අනුගාමිකයින් නොසන්සුන් වේ යැයි යන බියෙන්. ජයලලිතාට අවසන් ගෞරව දැක්වීමට පැමිණි බොහෝ පිරිසක් හිස මඩුකර පැමිණීමද විශේෂත්වයක්.

දමිල සිනමාවේ යුගයක් සනිටුහන් කළ එම්.ජී.ආර්ගේ දිගුකාලීන සිනමා පෙම්වතිය වන ජයලලිතා, චිත‍්‍රපට 140කින් පසු සිනමා ගමන නිමකර 1982 වසරේදී දේශපාලනයට පිවිසෙනවා.

1991 සිට අවස්ථා හයකදී තමිල්නාඩුවේ ප‍්‍රධාන අමාත්‍ය ධුරයට තේරී පත් වූ ඇය ශී‍්‍ර ලාංකේය දේශපාලනයටද විවිධ බලපෑම් එල්ල කළ චරිතයක් ලෙසටයි සැලකෙන්නේ.

2001 සහ 2014 යන වර්ෂවලදී ඇයට එල්ල වූ දූෂණ චෝදනා හේතුවෙන් මහ ඇමැති ධුරයෙන් ඉවත් වීමට සිදුවූ අතර වරෙක බන්ධනාගාර ගත වීමටද සිදු වුණා. එහිදී ඇයට නියම වූ දඩය ඉන්දීය රුපියල් කෝටි සියයක්. 1991 සහ 1996 යන කාලය තුළ පමණක් ජයලලිතා අක්කර දෙදහසක භූමි ප‍්‍රමාණයක්, රත්තරන් කිලෝග‍්‍රෑම් 38ක් සහ මිලෙන් අධික සාරි දොලොස්දහසක් සමග, පාවහන් 750ක් මිලදී ගත් බවටයි චෝදනා එල්ල වූයේ.