Monday, January 13, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා පිළ පරණ පුහුණුකරුත් එක්ක පාකිස්තාන සංචාරයට යයි - ගිහින් ආපුවාම අලුත් පුහුණුකරු එයි




පාකිස්තානු කණ්ඩායම සමග පැවැත්වෙන ක‍්‍රිකට් තරගවලිය සඳහාද ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයේ වගකීම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නික් පෝතස්ට පවරා තිබෙනවා.

හිටපු පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඞ් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් වීමත් සමග පන්දු රැකීම් පුහුණුකරු ලෙස කටයුතු කළ නික් පෝතස් එම ධුරයට පත් කෙරුණා. 

ඒ අනුව, ඉන්දියාව සමග පැවති තරගාවලියේද ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ නික් පෝතස්. ඔහු සම්බන්ධයෙන් විවිධ විවේචන එල්ල වූවත් හදිසියේ නව පුහුණුකරුවෙකු බඳවා ගැනීටම නොහැකි බැවින් පාකිස්ථාන තරගාවලිය සඳහා ද ඔහුගේ සහය ලබා ගැනීමටයි ක‍්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.

මෙම තරගවලියෙන් අනතුරුව නව පුහුණුකරුවෙකු පත් කර ගැනීමට තීරණය කර ඇති බවද ක‍්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියෙකු නෙත් ස්පෝට්ස්මන් වෙත ප‍්‍රකාශ කළා. 

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ටෙස්ට් තරග 02ක් සහ එක්දින තරග 05ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීයි. දෙරට අතර පන්දුවාර 20 තරග 03ක් පැවැත්වෙන අතර එහි අවසන් තරගය පාකිස්තානයේ ලාහෝර් නුවරදී පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා. ශ‍්‍රී ලංකා පාකිස්තාන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය ලබන 28 වැනිදා අබුඩාබිහිදී ආරම්භ වනවා.