ඔන් මැක්ස් පිරමීඩ ආයෝජන සැලැස්මට අදාළව මුදල් ආයෝජනය කර මේ වන විට මුදල් අහිමිවී සිටින තැන්පත්කරුවන්ට එම මුදල් වසර දෙකක් තුළ ගෙවා අවසන් කිරීමට පියවර ගන්නා බව එම සමාගමේ අධ්‍යක්ෂවරුන් අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
එම අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මෙම දැනුම්දීම සිදු කළේ අදාළ පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සිය සමාගමේ මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන් 61000කට මුදල් ගෙවීමට නියමිතව තිබෙන බවයි.
එසේ ගෙවිය යුතු මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 18 කට අසන්න බවත් ජනාධිපති නීතිඥවරයා එහිදී සඳහන් කර සිටියා.
තම සමාගමට අදාල බැංකු ගිණුම් මේ වන විට අධිකරණය විසින් තහනමට ලක් කර තිබෙන බවත් එම තහනම ඉවත් කරන්නේ නම් වසර දෙකක් තුළ අදාල මුදල් තැන්පත්කරුවන්ට නැවත ගෙවා අවසන් කිරීමට හැකි වනු ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.
එහිදී මුදල් අහිමි වූ තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නාමල් රාජපක්ෂ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකරුවන් විසින් තම සේවා දායකයින්ට රුපියල් කෝටි 25 ක පමණ මුදලක් නැවත ගෙවීමට නියමිතව තිබෙන බවයි.
තමන්ට ගෙවීමට තිබෙන මුදල් පිළිබඳ සියලු විස්තර විත්ති පාර්ශවය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙසයි මහේස්ත්‍රාත්වරයා එම තැන්පත්කරුවන්ට එහිදී නියෝග කළේ.
ඉන් අනතුරුව විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර අදාළ මුදල් නැවත ගෙවීමේ වැඩපිළිවෙලක් සකස්කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ඉන් අනතුරුව අදාළ බැංකු ගිණුම් තහනම් ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණය කරුණු සලකා බලන බවත් මහේස්ත්‍රත්වරයා විත්ති පාර්ශ්වයට දැනුම් දුන්නා.
ඉන් අනතුරුව අදාල පැමිණිල්ල ජූලි මස 09 වනදා යළි කැඳවීමට නියෝග කළ අතර එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් පාර්ශව කරුවන්ට දන්වා සිටියා.
එම නඩුවේ සැකකරුවන් ලෙස අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන් පස් දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඔවුන් මේ වනවිට ඇප මත මුදාහැර තිබෙනවා.