Monday, March 3, 2025

General line - 0115112241

තලාව පොලිස් ස්ථානාධිපති ඇතුළු පිරිසකට පහර දුන් 05 දෙනෙකු අත්අඩංගුවට

තිසර සමල් සෝමරත්න



තලාව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට පිහියකින් පහරදී තුවාල සිදු කර, තවත් පොලිස් නිලධාරීන් පිරිසකට පහරදුන් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස් දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ තලාව සුමුදුගම ප්‍රදේශයේ නීතී විරෝධී මත් පැන් වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු මන්නා පිහියක් රැගෙන එම නිලධාරීන්ට බැන තර්ජනය කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

ඒ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් තලාව පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසු එම ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් අදාළ ස්ථානයට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයෙකු මන්නා පිහියකින් පොලිස් ස්ථානාධිපතිවරයාට පහර දීම හේතුවෙන් ඔහු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එම ස්ථානයේ සිටි තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ට පහර දී ඇති අතර එහිදී තුවාල ලැබූ තවත් නිලධාරීන් තිදෙනෙකු තලාව රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 05 දෙනා අතර කාන්තාවන් දෙදෙනෙකු වන බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.