Wednesday, April 23, 2025

General line - 0115112241

කටුනායකට ආ ගුවන් යානා 04ක් හරවා යැවේ

ටී කේ ජී කපිල



අද අලුයම පැවති දැඩි මීදුම් තත්ත්වය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළට ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 04ක් මත්තල සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට ගුවන් බලධාරීන් පියවර ගෙන තිබෙනවා. 

ගුවන් නියමුවන්ට, කටුනායක  ගුවන් තොටුපොළේ  ධාවන පථය නිසියාකාරව නොපෙනීම හේතුවෙන් එම ගුවන් යානා මත්තල සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගත් බවයි කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවේ.

ඒ අනුව ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 226, චීනයේ ග්වැන්ෂෝ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 881, ඉන්දියාවේ බැංගලෝර් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 174 දරන ගුවන් යානා 03 මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. 

ඊට අමතරව තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට අද අලුයම 06.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට නියමිතව තිබූ තුර්කි ගුවන් සේවයේ ටී.කේ - 730 දරන ගුවන් යානය ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත හරවා යැවූ බවයි ගුවන් තොටුපොළ කාර්ය භාර නිලධාරියා පැවසුවේ.

එලෙස වෙනත් ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබූ සියලුම ගුවන් යානා අද උදෑසන 09 පමණ වනවිට යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.
 

අද උදෑසන 07 පමණ වනවිට කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ පැවති  දැඩි මීදුම් තත්වය ක්‍රමයෙන් පහව ගොස් තිබූ අතර, ඉන්පසුව පැමිණි සියලුම ගුවන් යානා, සාමාන්‍ය පරිදි කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පියවර ගෙන තිබූ බවයි කටුනායක ගුවන් තොටුපළ නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.