Monday, March 3, 2025

General line - 0115112241

විදේශ සේවයට යන නිලධාරින්ගේ වගකීම ගැන ජනපති කතා කරයි



ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරයා සතු වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

පසුගිය කාලයේ රාජතාන්ත්‍රික සේවාවන්හි නිරත නිලධාරීන් ශ්‍රී ලංකාවේ නාමය අපකීර්තියට පත් කළ අවස්ථා තිබූ බවත් නව පත්වීම් ලබා ගන්නා රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් එවැන්නක් බලාපොරොත්තු නොවන බවත් ජනාධිපතිවරයා කියා සිටියා. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ විදෙස් තානාපති සේවය සඳහා නව රාජ්‍ය තාන්ත්‍රිකයින් පත් කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදීයි.

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට සපයනු ලබන සේවාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර කටයුතු කරන ලෙසත් එම රටවල සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ට සේවා සැපයීමේදී ඒ සඳහා මූලිකත්වය දෙමින් කිසිදු භේදයකින් තොරව සාධාරණව කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා නව රාජ්‍ය තාන්ත්‍රිකයන්ට එහිදී උපදෙස් ලබා දුන්නා.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සිටින මැද පෙරදිග, දකුණු කොරියාව සහ ජපානය වැනි රටවල රාජ්‍යතාන්ත්‍රික සේවා සැපයීමේදී වැඩි අවධානයක් යොමු කළ යුතු බවද මෙහිදී සාකච්ඡාවට ලක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ජනාධිපතිවරයා විසින් විදේශ තානාපති සේවය සඳහා තානාපතිවරුන් 04 දෙනෙකු සහ මහ කොමසාරිස්වරයකු පත් කර තිබෙනවා. 

මෙලෙස නව රාජ්‍ය තාන්ත්‍රිකයින් ලෙස පත් කර ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික සේවයේ වසර 20කට වඩා පළපුරුද්ද හා අත්දැකීම් සහිත නිලධාරීන් පිරිසක්.
 

ඒ අනුව, කටාර්  රාජ්‍යයේ තානාපති ලෙස ආර්.එස්.ඛාන් අසාඩ් මහත්මිය පත් කර ඇති අතර රුසියානු තානාපති ලෙස පත් කර ඇත්තේ එස්.කේ. ගුණසේකර මහත්මියයි. කුවේට් තානාපති ලෙස එල්.පී. රත්නායක  මහතා පත් කර තිබෙනවා.

ඊජිප්තු තානාපති ලෙස ඒ.එස්.කේ. සෙනෙවිරත්න  මහතා පත් කර ඇති අතර නවසීලන්ත මහ කොමසාරිස් ලෙස පත් කර ඇත්තේ ඩබ්ලිව් .ජී.එස්. ප්‍රසන්න මහතායි.