Monday, March 10, 2025

General line - 0115112241

 නීති විරෝධී ලෙස යාපනයේ රැඳී සිටි ඉන්දියානුවන් පිරිසක් මෙරටින් පිටුවහල් කෙරේ

ටී කේ ජී කපිල



මෙරට ආගමන විගමන නීතිරීති උල්ලංඝනය කරමින්, සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ සිටි ඉන්දීය ජාතිකයින් 15 දෙනෙකු පිටුවහල් කර තිබෙනවා.

ඒ, ආගමන විගමන නිලධාරින් කණ්ඩායමක් විසින් ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි.

එම ඉන්දීය ජාතිකයින් පිරිස යාපනය ප්‍රදේශයේ ලී මඩුවක කැටයම් ශිල්පීන් ලෙස කටයුතු කරමින් හිඳ ආගමික කණ්ඩායමක ප්‍රචාරණ කටයුත්තක සිදුකර ඇති බව අනාවරණ වී තිබෙනවා.

ඔවුන් කටුනායක ගුවන්තොටුපොළ මගින් නොමිලේ ලබාදී තිබූ සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ සිටි පුද්ගලයින් වන බව නෙත් නිවුස් ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ.

ඔවුන් අතරින් දෙදෙනෙකු යාපනය, මත්හල් ප්‍රදේශයේ පසුගිය 05 සහ 07 වන දින රෝග සුව කිරීමේ ආගමික මෙහෙයක් පැවැත්වීමට සූදානම් වෙමින් සිට ඇති අතර ඔවුන්ට එරෙහිව එම ප්‍රදේශයේ හින්දු ජාතික සංවිධාන විසින් විරෝධතාවක් ද සංවිධානය කර තිබූ බවයි වාර්තා වන්නේ.

එහිදී අත්අඩංගුවට ගත් ආගමික පූජකවරුන් දෙදෙනා ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටුවහල් කිරීමට පියවර ගෙන තිබුණා.

මීට අමතරව යාපනය ප්‍රදේශයේ ලී මඩුවක, කැටයම් ශිල්පීන් ලෙස කටයුතු කරමින් සිටි තවත් ඉන්දීය ජාතිකයන් 08 දෙනෙකු සහ අවන්හල් තුළ සේවය කරමින් සිටි ඉන්දීය ජාතිකයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන පළාලි ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පිටුවහල් කර තිබෙනවා.