Wednesday, April 23, 2025

General line - 0115112241

මාතර බන්ධනාගාරයේ ගැටුමක් - පාලනයට කඳුළු ගෑස්



මාතර බන්ධනාගාරයේ යළි හටගත් උණුසුම් තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව පොලීසිය පවසනවා. 

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින “මිදිගම බාල මාමා” නැමැත්තා සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු වෙනත් බන්ධනාගාර තුනකට මාරුකර හැරීමට එම බන්ධනාගාරයේ නිලධාරින් ඊයේ පස්වරුවේ කටයුතු කිරීමත් සමඟ ඊට එරෙහිව රැඳවියන් පිරිසක් කලහකාරී ලෙස හැසිරුණු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. 

නීති විරෝධී කටයුතුවල නිරත වීම හේතුවෙන් අදාළ රැඳවියන් තිදෙනා මාරු කිරීමටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණේ. 

ඊයේ රාත්‍රී 07.30ට පමණ ඊට එරෙහිව රැඳවියන් වාට්ටුවලින් පිටතට පැමිණ බන්ධනාගාර පරිශ්‍රයේ කලහකාරී ලෙස කටයුතු කර තිබෙනවා. 

ඒ සමඟ තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාරයේ මුර අට්ටාලයක රාජකාරි කරමින් සිටි නිලධාරියෙකු අහසට වෙඩි තැබූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. 

ඒ අනුව පැයක පමණ කාලයකට පසුව එලෙස කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් යළි වාට්ටු වෙත යොමුකර තිබෙනවා.

කෙසේවෙතත් ඊයේ මධ්‍යම රාත්‍රී 12.00ට පමණ යළි කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් වාට්ටුවල අගුළු කඩා යළි බන්ධනාගාර පරිශ්‍රයට පැමිණ කලහකාරී ලෙස හැසිරී තිබෙනවා. 

ඒ අනුව ඔවුන් පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවයි පොලීසිය පැවසුවේ. 

ඒ අනුව රැඳවියන් වාට්ටු වෙත යළි ගොස් තිබෙනවා. 

කෙසේවෙතත් ඉබියතුරු කඩා තිබීම හේතුවෙන් වාට්ටු තුළ රැඳවියන් සිරකර තැබීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ. 

මාතර බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව වෙනුවෙන් ගාල්ල සහ තංගල්ල පොලිස් කොට්ඨාසවල නිලධාරින් 150ක් පමණ සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් මේ වන විටත් යොදවා සිටිනවා.

මේ අතර කලහකාරී තත්ත්වය හට ගැනීමත් සමඟ මාතර බන්ධනාගාරයේ රඳවා සිටි කාන්තා රැඳවියන් ද වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීමට පියවර ගත් අවස්ථාවේ එම කාන්තාවන් ද ඊට විරෝධය පළකර තිබෙනවා. 

කෙසේවෙතත් පොලීසියේ ද මැදිහත් වීමෙන් අදාළ කාන්තා රැඳවියන් 26 දෙනා අගුණුකොලපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.