Wednesday, April 23, 2025

General line - 0115112241

ඉන්දු - කාශ්මීරයත් උණුසුම් - වෙඩි තැබීමකින් 26ක් මරුට



ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ සංචාරකයින් පිරිසක් ඉලක්ක කර එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

කාශ්මීරයේ ජනප්‍රිය, සුන්දර ප්‍රදේශයක් නැරඹීමට පැමිණි දේශීය සංචාරකයින් පිරිසකටයි තුවක්කුකරුවන් පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ.

“ඉන්දියාවේ ස්විට්සර්ලන්තය” ලෙස විරුදාවලිය ලත් හිමාල කඳුවැටියේ පිහිටි සුන්දර නගරයක් වන පහල්ගම්හීදී මෙම ප්‍රහාරය සිදුව තිබෙනවා. 

ප්‍රධාන අමාත්‍ය ඕමාර් අබ්දුල්ලා පැවසුවේ මෙම ප්‍රහාරය මෑත කාලයේ සිදු වූ දරුණුතම ප්‍රහාරයක් බවයි. 

තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා ඇති බවත් ඔවුන්ගෙන් පිරිසකගේ තත්ත්වය බරපතල බවත් ප්‍රධාන අමාත්‍යවරයා පවසා තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ යුරෝපා සංගම් ප්‍රධානී උර්සුලා වොන් ඩර් ලේයන් ද මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙලා දැක ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

ප්‍රහාරයෙන් පසු සිය සෞදි අරාබියානු සංචාරය සීමාකර ඇති ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අවධාරණය කර ඇත්තේ අපරාධකරුවන් කඩිනමින් නීතිය හමුවට පමුණුවන බවයි.