ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ගන්නා වූ තීන්දු තීරණවලට මෙරට විපක්ෂය වැඩියෙන්ම සතුටු වන නමුත්, ලෝකයේ කිසිදු උපද්‍රවයකදී කඩානොවැටෙන ලෙස ශක්තිමත් ආර්ථිකයක් මෙරට තුළ ස්ථාපිත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ “ජය නියතයි ගම අපිටයි” ජන රැලි මාලාවේ තවත් ජන රැලියකට ඊයේ (23) පස්වරුවේ මොරටුවේදී එක්වෙමිනි.
ජනරැලිය ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
" ජනතාවට මීට වඩා හොඳ ජීවිතයක් උරුම කර දීමේ අරමුණ වෙනුවෙන් අපේ රටේ ජනතාව මැදිහත් වෙලා ආණ්ඩුව හැදුවා. වසර 76ක් තිස්සේ පැවති ආණ්ඩු මේ රට ආර්ථිකමය, සමාජයීය වශයෙන් විශාල කඩාවැටීමකට ලක් කළා. නීතියක් නැති රාජ්‍යයක් බවට පරිවර්තනය කළා. ජාතීන් අතර ගැටුම් නිර්මාණය කළා. ජනතාව ඉතා නිර්භීතව ගත් තීන්දුව සාමාන්‍ය එකක් නෙමෙයි. ඉතිහාසයේ පළමුවරට වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් සිටින පාර්ලිමේන්තුවක් නිර්මාණය කර තිබෙනවා. මේ රටේ ජනතාව නිර්භීතයි.
කාලාන්තරයක් තිස්සේ රට පාලනය කළ පක්ෂ පාර්ලිමේන්තුවේ අසුනක් සොයා ගැනීමට නොහැකි වන ආකාරයට බිඳවැටුණා. මේ රටේ ජනතාව මහත් බලාපොරොත්තු රැසක් පොදිබැඳ ගෙන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හැදුවා. මේ රටේ ජනතාවගේ අපේක්ෂා අප හොඳින් දන්නවා. ඒවා මෙනෙහි කරමින් තමයි, අපේ ආණ්ඩුව ඉදිරියට යන්නේ. ඔබට ලබාදුන් පොරොන්දු ඉටු කර ගැනීම වෙනුවෙන් සහතික වෙනවා.
මේ රටේ ආර්ථිකය ගොඩනැඟිය යුතුව තිබෙනවා. රටේ නීතිය තහවුරු කළ යුතුයි. ලෝකයේ ඉදිරියේ බැබලෙන රාජ්‍යයක් බවට පත් කළ යුතුයි කියන අපේක්ෂාව තිබෙනවා. ශක්තිමත් රාජ්‍ය සේවයක් ස්ථාපිත කළ යුතුයි. අධ්‍යාපනය, ප්‍රවාහනය, සෞඛ්‍යය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් කාර්යක්ෂමව සිදුවිය යුතුයි කියන අපේක්ෂාව තිබෙනවා. ඒ වගේම වංචනිකයන්ට දඬුවම් දිය යුතුයි කියන අපේක්ෂාවද තිබෙනවා. අපට ඡන්දය ලබා දුන් සියලු දෙනා බලාපොරොත්තු වුණේ පෞද්ගලික අපේක්ෂා ඉටු කර ගැනීමට නෙමෙයි.
සැප්තැම්බර් මස ආරම්භ කළ මාවත ඉදිරියට යනවාද නැද්ද නැත්නම් පරණ විනාශකාරී දිශාවකට හරනවාද කියන තීන්දුව මේ රටේ ජනතාව ගත කළ යුතුයි. විපක්ෂය කුමක් කිවුවත් මේ මාවත ඉදිරියට යෑමේ එකඟතාව මේ රටේ බහුතර ජනතාව මැයි මාසයේ 06 වන දා පළ කරන බව පැහැදිලියි. අද විපක්ෂය විචාරකයන් පමණයි. ඔවුන්ට පක්ෂ නැහැ. ඔවුන් අද කරන්නේ ජනතාවට අභිමුඛ වෙනවාට වඩා මාධ්‍ය ඉදිරියේ අභිමුඛ වීමයි. අද ජනතාවට තෝරාගත යුතු එකම ව්‍යාපාරය ජාතික ජනබලවේගය පමණයි.
අද රජය ප්‍රාග්ධන වියදම් යොදවමින්, යටිතල පහසුකම් සංවර්ධනය කරමින් පෞද්ගලික අංශයට අවශ්‍ය සහාය ලබාදෙමින් තිබෙනවා. රටක් ගොඩනැඟෙන්නේ මේ අංශ දෙක තුළින් පමණයි. එහෙම කරන්න නම් රජයේ ආර්ථික ක්‍රියාවලිය මෙහෙයවන්නයි, පෞද්ගලික අංශයට දායකත්වය සපයන්නයි අපට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. ශක්තිමත් රාජ්‍ය සේවයක් නොමැතිව අපට මේවා කරන්න බැහැ. රජයේ සංවර්ධන ක්‍රියාදාමය නිසිපරිදි කිරීමට ඇස්තමේන්තු හදන්න ඕනෑ, ටෙන්ඩර් පටිපාටි සකස් කරන්න ඕනෑ, ටෙන්ඩර් කැඳවන්න ඕනෑ, කොන්ත්‍රාත් ප්‍රදානය කරන්න ඕනෑ, ඒවා පරීක්ෂා කරන්න ඕනෑ. මේ සියල්ලක්ම කරන්නේ රාජ්‍යයයි.
රාජ්‍ය සේවකයන්ට හිමි සියල්ලක්ම අප දෙනවා. එහෙත්, අහිමි සියල්ලක්ම ගන්න උත්සාහ කරන්න එපා. දේශපාලකයන් වශයෙන් අපට හිමි ගොඩක් දේවල් අත්හරිමින් තමයි අපි රාජ්‍ය සේවකයාට ලබා දෙන්නේ. ජනාධිපතිවරයාට, ඇමැතිවරයාට පනත්වලින්, චක්‍රලේඛවලින් හිමි දේවල් තිබෙනවා. එහෙත් අප ඒවා අත්හැර තිබෙනවා. ඕනෑම ව්‍යවසායකයෙක් කිවුවොත් කර්මාන්ත ශාලාවක් දාන්න කැමතියි, අපට ඉඩමක්, විදුලිය, ජලය, මාර්ග ලබා දෙන්න කියා. හැබැයි, හරියට බදු ගෙවන්න. කොළඹ වාණිජ ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ආණ්ඩු වාණිජ වටිනාකම් තිබෙන ඉඩම් නිකම් තියාගෙන වැඩක් නැහැ. ඒවා ඵලදායී ව්‍යාපෘතිවලට යෙදවිය යුතුයි. නාගරික සංවර්ධන අධිකාරිය සංවර්ධන සැලැස්මක් හදා තිබෙනවා. ඒ අනුව හොඳ ආයෝජකයන්ට එම වාණිජ ඉඩම් ලබා දීමට කටයුතු කරනවා.
පෞද්ගලික අංශයට බලපත්‍ර ලබා ගැනීමට යෑමේදී විශාල ගැටලුවලට මුහුණ දීමට සිදුව තිබෙනවා. තම කර්මාන්ත ඉදිරියට ගෙන යෑමට යම් බාධාවක් ඇති වෙනවා නම් කෙලින්ම අපට කියන්න. අප විශේෂ ඒකකයක් මගින් ඒවා නිරාකරණය කරමින් ආයෝජන ශක්තිමත්ව රට තුළ ස්ථාපිත කරනවා. 2025 වසර වැඩිම සංචාරකයන් පැමිණෙන වසර බවට පත් වෙනවා. එහෙත් සංචාරකයන් යන්නේ රටේ සීමිත ස්ථානවලට පමණයි. සංචාරකයන්ගේ තදබදය අවම කිරීමට අලුත් සංචාරක ගමනාන්ත රට තුළ ස්ථාපිත කළ යුතුයි. අනුරාධපුරය, යාපනය, ත්‍රීකුණාමලය සහ ගාල්ල යන ප්‍රදේශවලට අනන්‍යතා තිබෙනවා. නිසි සැලැස්මකට අනුව සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගන්නා ස්ථාන බවට පත් කරනවා.
අප රටේ ආර්ථිකය වර්ධනය වෙමින් පවතින අවස්ථාවක ඇමරිකානු ජනාධිපතිවරයා එරට ආර්ථිකය සම්බන්ධව ගත් යම් තීන්දු තීරණ නිසා යම් බලපෑමක් අපට තිබෙනවා. ට්‍රම්ප් ජනාධිපතිවරයා තම රටේ ආර්ථිකය ගැන හිතලා, එහි ජාතික ආර්ථිකය නැවත ශක්තිමත් කර ගැනීමට තීන්දු ගන්න ඇති. එහිදී ඔහු වටා ඉන්න අනිත් අයත් සතුටු වෙන්න ඇති. හැබැයි, ඒ සියල්ලකටම වඩා සතුටු වුණේ අපේ රටේ විපක්ෂයයි. එහෙත් අපේ කණ්ඩායමක් එක්සත් ජනපදයේ කණ්ඩායම් සමඟ සාකච්ඡා පවත්වනවා. අපි උත්සාහ කරනවා, ඒ ප්‍රශ්නය අපට සාධාරණ ලෙස විසඳා ගැනීමට. අපේ රට ලෝකයේ කිසිදු ආපදාවකදී කඩානොවැටෙන ලෙස මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරනවා.
එපමණක් නොව අපේ රට ඉදිරියට යෑමට නම් අධ්‍යාපනය ඉතා වැදගත්. දුප්පත් නම් නූගත්, නූගත් නම් දුප්පත්. අධ්‍යාපනයයි, දුප්පත්භාවයයි අතර අනෝන්‍ය සබඳතාවක් තිබෙනවා. එහෙනම් දුප්පත්භාවය තුරන් කිරීමේදී අධ්‍යාපනයට විශාල වැඩ කොටසක් කළ හැකියි. ඒ අනුව, දැනට පවතින අධ්‍යාපනය දෙමාපියන්ට බරක්, දරුවන්ට පීඩාවක්. අපි මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනවා. ජාත්‍යන්තර අත්දැකීම් සහ අපේ විශේෂඥයන්ගේ සහාය ඇතිව ලබන වසරේ ජනවාරි සිට 1 වසරේ සිට 6 වසර දක්වා නව විෂය නිර්දේශයක් හඳුන්වා දෙනවා. දැනුමෙන් පමණක් නොව හදවතින් යුත් දරුවෙක් නිර්මාණය කිරීම වෙනුවෙන් වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අප ඇති කරනවා.
අප රටේ පුරවැසියන් ප්‍රවාහනය සඳහා දරන වැය බර වැඩියි. වැටුපක් ගන්න කෙනෙක්, පොදු ප්‍රවාහන සේවයෙහි බිඳවැටීම නිසා උත්සාහ ගන්නවා තමන්ගේ වාහනයක් අරන් දුවන්න. වාහනයේ ලීසිං ගෙවන්න තම වැටුපෙන් භාගයකට වැඩිය යනවා. වාහනය නිසා අනික් සියලු අවශ්‍යතා සිය පවුලට අහිමි වෙනවා. එනිසා ඒ වැය බර අවම කිරීමට ශක්තිමත් පොදු ප්‍රවාහන සේවයක් ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා. නිරවුල් මනසින් වැඩ කළ හැකි පොදු ප්‍රවාහන සේවයක් අවශ්‍යයි.
පවතින ප්‍රවාහන සේවය ගුණාත්මක, දියුණු පොදු ප්‍රවාහන සේවයක් බවට පත් කරනවා. මෙය ක්‍රමානුකූලව නාගරිකව ආරම්භ කර, ගම්මාන කරා ව්‍යාප්ත කිරීම අපේ අපේක්ෂාවයි.
මෙවර අයවැයෙන් වැඩිම මුදලක් සෞඛ්‍යයට වෙන් කර තිබෙනවා. එනිසා කිසිසේත්ම රෝහල්වල කිසිදු බෙහෙතක් හිඟ විය යුතු නැහැ. පවතින මිලදී ගැනීමේ යාන්ත්‍රණයේ ගැටලු නිසා යම් බෙහෙතක් හිඟ වෙන්න පුළුවන්. අපේ කාලය තුළ පවුලේ වෛද්‍යවරයෙක් හඳුන්වාදෙන්න කටයුතු කරනවා. අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය ගොඩනඟන්න අප විශාල වෙහෙසක් දරනවා. ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීමට අප කඩිනමින් පියවර ගන්නවා."