Wednesday, April 30, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නිලවරණය පවත්වන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම කැඳවීමට දින දෙයි

උදය කුමාර



ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නිලවරණය පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කෙරුණු රිට් පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 15 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියම කළා. 

එම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ හිටපු ජාතික රග්බි ක්‍රීඩකයෙකු වූ වරුණ ද සිල්වා මහතා විසින්. 

මෙම පෙත්සම අද අභියාචනාධීකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ කොළඹ දිසා අධිකරණය හමුවේ ඇති කරගත් එකඟතාවයකට අනුව ඉකුත් ජනවාරි මස 25 වනදා රග්බි සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කෙරුණු බවයි. 

එහෙත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝගයට අනුව එදින එම නිලවරණය පැවැත්වීම අත්හිටවනු ලැබූ බවත් එය සම්පූර්ණයෙන්ම අධිකරණයට අපහාසාත්මක ක්‍රියාවක් බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළා.

මේ නිසා එම නිලවරණයට ඉදිරිපත් වූ නාමයෝජනා සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතු වී තිබෙන බවත් ඔහු පැවසුවා. 

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම නඩුකරයට සමාන අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නඩුකරයක් ලබන 15 වනදා කැඳවීමට නියමිතව තිබෙන බවයි. 

එම පෙත්සමත් එදින කැඳවන ලෙස අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. 

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 15 වනදා කැඳවන ලෙස නියම කළා.