Saturday, April 27, 2024

General line - 0115112241

කිමිකෝ සහ රමුදුගෙන් නව ශ්‍රී ලංකා පිහිනුම් වාර්තා




දකුණු ආසියානු ජල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා වාර්තා දෙකක් සමග රන් පදක්කම් දිනා ගැනීමට කිමිකෝ රහීම් හා රමුදි සමරකෝන් සමත් වුණා.

මෙම තරඟාවලිය මේ දිනවල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත් වෙනවා. ඊයේ (19) පැවැති මෙම ශූරතාවලියේ පළමු ඉසව්ව වූ මීටර් 200 කාන්තා වයස අවුරුදු 15 න් පහළ ළය ආර විනාඩි 2.46.54 කින් නිම කරමින් රමුදි සමරකෝන් නව ශ්‍රී ලංකා වාර්තාව බිහි කළා.

ඒ ඉන්දියාවේ ගුවහාතීහී නිමාවට පත්වූ 12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී හසන්ති නුගවෙල විනාඩි 2.49.17 කින් පිහිටුවා තිබූ වාර්තාව බිඳ දමමින්.

මීටර් 200 කාන්තා වයස අවුරුදු 18 න් පහළ නිදහස් ආර තරගය විනාඩි 2.07.83 කින් නිම කළ කිමිකෝ රහීම් නව ශ්‍රී ලංකා වාර්තාව පිහිට වූයේ ඇයගේම සොහොයුරිය වූ මචිකෝ රහීම් ගුවහාතී හී පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළලේදී විනාඩි 2.09.02 කින් තබා තිබූ වාර්තාව අභිබවා යමින්.

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලබන දකුණු ආසියානු ජල ක්‍රීඩා ශූරතාවලියේ පළමු දිනය නිමා වන විට රන් පදක්‌කම් 5 ක්‌ දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්ව සිටිනවා.

මෙම පදක්‌කම් 5 ට අමතරව රිදී පදක්කම් 5 ක්‌ සහ ලෝකඩ පදක්‌කම් 14 ක්‌ දිනා ගැනීමටද ශ්‍රී ලංකාව සමත් වුණා.

බාලක අංශය

රමුදි සමරකෝන් – අවු. 15 න් පහළ මීටර 200 ළයආර ඉසව්ව – වි. 2.46.54
අකලංක පීරිස්‌    – අවු. 18 න් පහළ මීටර 50 සමනල ආර ඉසව්ව – තත්පර 25.67
කයිල් අබේසිංහ  – අවු. 18 න් පහළ මීටර 200 නිදහස්‌ ආර ඉසව්ව – වි.1.54.88
මැතිව් අබේසිංහ  – අවු. 18 න් පහළ මීටර 100 සමනල ආර ඉසව්ව – තත්පර 55.39

බාලිකා අංශය
කිමිකෝ රහිම් – අවු. 18 න් පහළ මීටර 200 නිදහස්‌ ආර ඉසව්ව – වි. 2.07.83