Saturday, April 27, 2024

General line - 0115112241

ඉන්දියාවේ කාසිය වාසිය කර ගත් පකිස්ථානයෙන් ලකුණු 339ක ඉලක්කයක්




අයි සී සී ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය දැන් පැවැත්වෙනවා. 

ඒ ඉන්දියාව සහ පකිස්තානය අතරයි. තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායකයා පළමුව තීරණය කළේ පන්දු යැවීමටයි. 

ඒ අනූව පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්තානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 04ක් දැවී ලකුණු 338ක් රැස් කිරීමට සමත් වුණා. 

විශිෂ්ඨ පිති හරඹයක නිරත වූ ෆකාර් සමාන් හයේ පහර 03ක් සහ හතරේ පහර 12ක් සමග ලකුණු 114ක් රැස් කළා.

එය ඔහුගේ මංගල එක්දින ශතකයයි. අසාර් අලී ලකුණු 59යි. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 128ක්. 

අවසන් බාගයේ වේගවත් පිතිහරඹයක නිරත වූ මොහොමඩ් හෆීස් පන්දු 37කදී නොදැවී ලකුණු 57ක් රැස් කළා. 

පන්දු යැවීමේ දී සාර්ථක වූ එකම පන්දු යවන්නා වන බුවනේෂර් කුමාර් ලකුණු 44කට එක් කඩුල්ලක් බිද හෙළුවා. 

පකිසාතානය මෙවර තරගාවලියේදී ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාව මෙය වන අතර අවසන් මහා තරගයකදී ලකුණු 300 සීමාව පසු කළ දෙවන අවස්ථාව ද මෙයයි. 

පකිස්තානය  පළමුවෙන් පන්දුවට පහර දී අවස්ථා 57කදී ලකුණු 300 සීමාව පසුකර ගොස් ඇති අතර ඉන් තරග 51ක්ම ඔවුන් ජය ගෙන තිඛෙනවා. 

ඉන්දියාවට එරෙහිව තරග 12කදීලකුණු 300 සීමාව පසු කර ගොස් ඇති අතර ඉන් තරග නවයකම ජය හිමි වූයේ පකිස්තානයටයි.