Friday, April 26, 2024

General line - 0115112241

වහල මත සවිකරන සූර්යබල පද්ධති පිළිබඳව ඔබේත් අදහස් මෙලෙස දැක්විය හැකියි 




සූර්ය බල සංග්‍රාමය යටතේ සූර්යබලය මගින් වසර 2020 වන විට මෙගාවොට් 200ක ධාරිතාවයක් ලබාදීමේ වැඩසටහනක් මේවන විට ක්‍රියාත්මකයි. 

එය වසර 2025 වන  මෙගා වොට් 1000 දක්වා වර්ධනය කිරීමට ද අපේක්ෂිතයි.

වර්තමානයේ ස්ථාපිත විදුලි ධාරිතාව මෙ.වො. 3,900ක් වන අතර එය වසර 2020 වන විට මෙ.වෙ. 4955ක් වනු ඇති බවට බලාපොරොත්තු වනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ පුරෝකථනයන්ට අනුව 2015 – 2034 කාල පරිච්ඡේදය කුළ ශ්‍රී ලංකාවේ විදුලිබල ඉල්ලුම සාමාන්‍යයක් ලෙස 5.3% කින් වර්ධනය වන අතර කාර්යබහුල කාල සීමාවෙහි විදුලි ඉල්ලුමෙහි වර්ධනය සාමාන්‍යයක් ලෙස 4.7% ක් වනවා.

ඊට විසඳුමක් ලෙස සූර්ය බල සංග්‍රාමය වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමේ අරමුණ ඇතිව වහල මත සවිකරන සූර්යබල පද්ධති සවිකිරීමේ වැඩසටහන ප්‍රවර්ධනය සදහා පහසුකම් සැළසීමට අවශ්‍ය නියාමන  සකස්කිරීම සදහා මහජන අදහස් ලබාගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

එහි ඉලක්කය වන්නේ ඉදිරි අවුරුදු 10 තුලදී වහල මත සවි කළ සූර්යබල පද්ධති දස ලක්ෂයක් ස්ථාපිත කිරීමයි.

සාමාන්‍යයෙන් මාසයකට  විදුලි ඒකක 120 කට වැඩියෙන් පාවිච්චි කරන පාරිභෝගිකයන්ට  සූර්ය බල විදුලි උත්පාදන ක්‍රමවේදය වඩාත් වාසිදායක වන අතර මසකට  යුනිට් 120 ක් පමණ අවශ්‍ය වන ස්ථානයකට  කිලෝ වොට් 1 ක සූර්ය බලශක්ති පද්ධතියක් ප්‍රමාණවත් වනවා.


‘සූර්යබල සංග්‍රාමය‘ අනුව මූලික වියදම වෙනුවෙන්  බැංකු ණය ලබා ගත හැකි අතර තමන්ගේ විදුලිබල අවශ්‍යතාවයන් ඉ‍ටුකර ගැනීමෙන් අනතුරුව ඉතිරිය ජාතික විදුලි බල පද්ධතියට විදුලිය ලබා දිය හැකි වනවා.

එය හැඳින්වෙන්නේ  Net Accounting  ක්‍රමවේදය ලෙසයි.

සූර්යබල පද්ධති සවිකිරීමේ වැඩසටහනට  අවශ්‍ය නියාමන  සකස්කිරීම සදහා මහජන අදහස් ලබාගැනීම මගින්  ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අදහස් කර ඇත්තේ විදුලිබල සේවා සැපයුම් ආයතන (ලංකා විදුලිබල මණ්ඩලය හා ලංකා විදුලි පෞද්ගලික සමාගම) වෙත මාර්ගෝපදේශ නිකුත් කිරීමයි.

මේ සදහා උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට ලිඛිතව අදහස් ඉදිරිපත්කරන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ආරාධනා කර සිටින අතර ලිපි මගින්,වෙබ් අඩවිය මගින්,විද්‍යුත් තැපෑල මගින් සහ කොමිෂන් සභාවේ ෆේස් බුක් ගිණුම හරහා එම අදහස් ඉදිරිපත් කළ හැකි වනවා.

පහත කරුණු සම්බන්ධයෙන් මෙහිදී අදහස් දැක්විය හැකි වනවා.

• වහල මත සවිකරන සුර්ය බල පද්ධති වැඩසටහන සම්බන්ධයෙන් දැනට පවත්නා රාමුව (උදා- නෙට් මීටරින් සදහා අයදුම්කිරීම, ඇස්තමේන්තු ලබාදීම, පිරිවැය හා මනු සවිකිරීමේ ක්‍රියාවන් ඇතුළු) වැඩිදියුණු කිරීම සදහා යෝජනා
• සුර්යබල පද්ධති ස්ථාපනය කිරීමට අදාල පිළිගත් ප්‍රමිතීන්
• තාක්ෂණික බාධා සහ ජාතික පද්ධතියට එක්කිරීමේදී භාවිතකල හැකි විවිධ තේරීම
• රජයේ සුර්ය බල සංග්‍රාමය යටතේ අපේක්ෂිත ඉලක්ක ලගාකරගැනීම තහවුරු කරගැනීමේදී සැළකිල්ලට ගතහැකි වෙනත් අදහස් හා යෝජනා


යෝජනා ඉදිරිපත්කල හැකි ලිපිනය-

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
6 වන මහල, ලංකා බැංකු වෙළද කුළුන
අංක 28, ශාන්ත මයිකල් පාර
කොළඹ 3.

යෝජනා ඉදිරිපත්කල හැකි වෙබ් අඩවිය -www.pucsl.gov.lk
යෝජනා ඉදිරිපත්කල හැකි කොමිෂන් සභාවේ ෆේස් බුක් ගිණුම - www.facebook.com/pucsl
යෝජනා ඉදිරිපත්කල හැකි ඊමේල් ලිපිනය – [email protected]