Saturday, April 27, 2024

General line - 0115112241

විදුලි කාර්මික වෘත්තීය බලපත්‍ර ක්‍රමය ගැන දැනුවත් කිරීමේ වැඩසටහන සාර්ථකව ඉදිරියට




විදුලි කාර්මික වෘත්තීය බලපත්‍ර ක්‍රමය පිළිබඳ දිස්ත්‍රික් මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහනේ තෙවන අදියර පසුගිය 17 වැනිදා අම්පාරේදී පැවත්වුණා. 

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් සංවිධානය කරන මෙම වැඩසටහන සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ විදුලි කාර්මිකයන් 1000කට ආසන්න පිරිසක් සහභාගි වුණා.

ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය, ජාතික ආධුනික හා කාර්මික පුහුණු අධිකාරිය සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය යන ආයතනවල සහාය ඇතිව විදුලි කාර්මිකයින්ට බලපත්‍ර ලබා දීමේ රාමුව පිළිබඳ දැනුවත් කිරීමේ ව්‍යාපාරය මේ වසරේ අගෝස්තු මස මන්මුනායි උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී විදුලි කාර්මිකයන් 500 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.

දෙවන දැනුවත් කිරීමේ වැඩසටහන මහනුවරදී 1200කට ආසන්න විදුලි කාර්මික ශිල්පීන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.

විදුලි කාර්මිකයින්ට බලපත්‍ර ලබාදීමේ වැඩසටහන පිළිබඳ ජාතික දැනුවත් කිරීමේ වැඩසටහනේ අරමුණ මෙරට විදුලි කාර්මිකයන් 30,000 ක් පමණ දැනුවත් කර වෘත්තීය බලපත්‍රය ලබාගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් ලබාගැනීමට එම පිරිස උනන්දු කරවීමයි.

විදුලිබල ආරක්ෂාව සහ විදුලි කාර්මිකයින්ට වෘත්තීය පිළිගැනීමක් ලබාදීම අරමුණු කරගත් විදුලි කාර්මික වෘත්තීය බලපත්‍ර ක්‍රමය මගින් ශ්‍රී ලංකාවේ විදුලි කාර්මිකයින්ට ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා දෙනවා. මෙම බලපත්‍ර ක්‍රමයේදී සුදුසුකම් අනුව ශ්‍රේණි 04ක් මත පදනම්ව වෘත්තීය විදුලි කාර්මිකයින්ට බලපත්‍ර පිරි නැමෙනවා.  

ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, වෘත්තීය පුහුණු අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලි පුද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය සමඟ එක්ව සකස් කළ හා අනුමත කළ යාන්ත්‍රණය තුලින් විදුලි කාර්මිකයින්ගේ සුදුසුකම් හා පළපුරුද්ද හඳුනාගැනීමෙන් ඔවුන්ට පිළිගත් වෘත්තීය තත්ත්වයක් ස්ථාපිත කිරීමට මෙය සහය වෙනු ඇති. තවද රටේ විදුලි ආරක්ෂාව සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට බලාපොරොත්තු වෙනවා.

විදුලි සැර වැදීම් විශ්ලේෂණ වාර්තාවට අනුව විදුලි අනතුරුවලින් සියයට 50 ක් සිදුවන්නේ විදුලි රැහැන් අක්‍රමිකතා, නඩත්තු ගැටළු සහ ප්‍රමිතීන් සම්බන්ධ ගැටළු නිසාවෙනි.

ශ්‍රී ලංකාවේ විදුලි කාර්මිකයන් 30,000 කට වැඩි සංඛ්‍යාවක් සිටින අතර දත්තවලින් පෙනී යන්නේ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) හෝ වෙනත් පිළිගත් වෘත්තීය සුදුසුකම් ලබාගෙන ඇත්තේ ඔවුන්ගෙන් සීමිත පිරිසක් පමණක් බවයි. නිවාස හා අනෙකුත් පරිශ්‍රයන්හි රැහැන් ඇදීම හා නඩත්තු කිරීම සිදු කරනු ලබන්නේ පිළිගත් සුදුසුකම් නොමැති නමුත් පුහුණුවීම් තුළින් අත්දැකීම් ඇති විදුලි කාර්මිකයන් විසිනි. 

මේ සියලු විදුලි කාර්මිකයින්ට සිය සුදුසුකම් සපුරාගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමද දැනුවත් කිරීමේ වැඩසටහන් මගින් සිදු කෙරෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 0772 943 193 අංකයට ඇමතීමෙන් දැනගත හැකියි.