Friday, April 26, 2024

General line - 0115112241

හොංකොං රාජ්‍යයේ ප්‍රබලතම මහජන පෙළපාළිය පැවැත් වෙයි




හොංකොං විරෝධතාකරුවන් ඊයේ (08) දිනයේ ප‍්‍රබල මහජන පෙළපාලියක් පැවැත්වුවා. ඒ, ඉකුත් දා පැවැති එරට මැතිවරණයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී කණ්ඩායම් වෙත දිස්ති‍්‍රක් පාලන බලය ලැබී ඇති පසුබිමක් තුළයි. 

ගතවු මාස කිහිපය තුලදී හොංකොං රාජ්‍යයේ පැවැති ප‍්‍රබලතම විරෝධතා පෙළපාලිය මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙහි විශේෂත්වය වන්නේ පොලීසියේ හෝ පාලනාධිකාරියේ බාධාවකින් තොරව සිය විරෝධතාව පැවැත්වීමට විරෝධතාකරුවන්ට අවස්ථාව හිමිවීමයි.

ඒ අනුව ඉකුත් අගෝස්තු මාසයේ සිට මේ දක්වා කාලය තුලදී පොලීසියේ අවසරය සහිතව හොංකොං රාජ්‍යය තුළ පැවැති පළමු මහජන විරෝධතාව ද මෙය වනවා.  

හොංකොංහි කි‍්‍රයාත්මක සිවිල් මානව හිමිකම් පෙරමුණ විසින් සංවිධාන කර තිබූ මෙම පෙළපාලිය සඳහා ලක්ෂ 8 ක පමණ පිරිසක් සහභාගී වූ බවයි සංවිධායකයින් පැවසුවේ. එහෙත්, පොලිස් වාර්තාවලට අනුව එම සංඛ්‍යාව  එක්ලක්ෂ 83,000 ක් පමණ වනවා. 

කෙසේවෙතත් විරෝධතා පෙළපාලිය ආරම්භ කිරීමට පෙර සිදුකළ මෙහෙයුම්වලදී ගිනි අවියක් සහ පුද්ගලයින් 11 දෙනෙකු සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ. පොලීසිය හෝ චීනයට පක්ෂපාතී පාලනාධිකාරිය කොතෙකුත් බාධා එල්ල කළද, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් දිවි ඇති තෙක් සටන් වදින බව විරෝධතාකරුවන් පවසනවා.