Friday, April 26, 2024

General line - 0115112241

විපක්ෂයේ විරෝධය මැද හොංකොං රජය පාර්ලිමේන්තු මැතිවරණය කල් දමයි




ලබන සැප්තැම්බර් 06 වනදා පැවැත්වීමට නියමිතව තිබූ හොංකොංහි පාර්ලිමේන්තු මැතිවරණය වසරකින් කල් දමා තිබෙනවා. 

නව්‍ය කොරෝනා වෛරසයේ සීඝ‍්‍ර ව්‍යාප්තිය හේතුවෙන් එම පියවර ගත් බවයි හොංකොං ප‍්‍රධාන විධායිකා කැරී ලෑම් ප‍්‍රකාශ කළේ. පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ සැප්තැම්බර් මස 05 වනදා පැවැත්වීමට තීරණය කළ බව ද ඇය කියා සිටියා. 

මහමැතිවරණය කල් දැමීමේ තීරණය, පසුගිය මාස 07 ක කාලය තුළ තමන් ගත් අසීරුම තීරණය බවයි හොංකොං ප‍්‍රධාන විධායිකා කැරී ලෑම් වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත්, මහමැතිවරණය කල් දැමීමේ තීරණයට හොංකොංහි විපක්ෂය දක්වන්නේ බලවත් විරෝධයක්. ජනතාව ඡන්දය දැමීම වැළැක්වීමේ කඩතුරාවක් ලෙස රජය කොරෝනා වසංගතය භාවිත කරන බවටයි හොංකොං විපක්ෂය චෝදනා කරන්නේ. 

ඊයේ දිනයේදී ද හොංකොං රජය විසින් විපක්ෂයේ අපේක්ෂකයින් 12 දෙනෙකු මහමැතිවරණයට ඉදිරිපත් වීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කිරීම, විපක්ෂයේ චෝදනා උත්සන්න වීමට තවත් හේතුවක් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.