Friday, April 26, 2024

General line - 0115112241

පැන්ඩෝරා පත්‍රිකාවෙන් ගිනිගත් පකිස්තානය




ලොව පුරා මාධ්‍යවේදීන් පිරිසක් මාධ්‍ය සංවිධාන කිහිපයක් සමග කළ දීර්ඝ ගවේෂණාත්මක මාධ්‍ය ව්‍යායාමයක ප්‍රතිඵලයක් ලෙස මීට සතිකිහිපයකට පෙර නිකුත් කෙරැණු පැන්ඩෝරා පත්‍රිකා මගින් ලෝකයම එක්තරා ආකාරයකයට ගිනි තැබීමකට ලක් කරනු ලැබිණ. එමගින් හෙළිදරව් කර තිබුණේ  ලෝකයේ රටවල් ගණනාවක දේශපාලඥයින්, ව්‍යාපාරිකයින්, ක්‍රීඩකයින් වැනි සමාජයේ පිළිගත් සහ බලපෑම්  සහගත පුද්ගලයින් විසින් පවත්වාගෙන යන අක්වෙරළ සමාගම්, ඒවා සම්බන්ධ ගිණුම් පිළිබද ගවේෂණාත්මක කරැණු ගණනාවකි. 

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් වැනි ලෝක දේශපාලන ප්‍රබලයින්ගේ මෙන්ම  ලෝකයේ ජනගහනයෙන් වැඩිම සහ දිළිදු බවින් පීඩිත කලාපයක් වන දකුණු ආසියාවේ රටවල්වල ප්‍රබල චරිත ගණනාවක ගනුදෙනු සහ වත්කම් පිළිබදව ද මෙමගින් තොරතුරැ හෙළිකර තිබිණ. 

ලංකාවේ හිටපු අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් පිළිබඳ පැන්ඩෝරා පත්‍රිකා මගින් කර තිබූ හෙළිදරව්ව ශ්‍රී ලංකාව තුළ මහත් ආන්දෝලනයක් ඇති කළේ, නිරූපමා රාජපක්ෂ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ඥාති සහෝදරියක් වීම හේතුවෙනි. මෙහිදී ආණ්ඩුව නිරෑපමා රාජපක්ෂ සමග  කිසිදු දේශපාලන සම්බන්ධයක් නොමැති බව අවධාරණය කළ අතර ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර මාසයක කාලසීමාවක් තුළ තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝගයක් ද ලබදෙන ලදී. ඒ අනුව අල්ලස් කොමිසම තිරුකුමාර් නඩේසන්ගෙන් දින දෙකක් ප්‍රකාශ සටහන් කරගනු ලැබූ අතර ඒ පිළිබද විමර්ශන තවදුරටත් සිදුකෙරෙමින් තිබේ.

දේශපාලන සබඳතා සහිත නේපාල ව්‍යාපාරිකයන් වන බිනෝද් චෞද්රි, දිවාකර් ගොල්චා, සහ අජේයා පරජූලි වැනි පිරිසකගේ නම් පැන්ඩෝරා පත්‍රිකාවලන් හෙළිදරව් කිරීම හේතුවෙන් නේපාලය තුළද මේ සම්බන්ධයෙන් පුලුල් කතිකාවක් නිර්මාණය විය. 
තුන්සියයක් පමණ වන ඉන්දියානුවන් පිරිසකගේ නම් පැන්ඩෝරා පත්‍රිකා මගින් ‍හෙළිදරව් කර තිබිණ. ඒ අතර,  සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර්, ව්‍යාපාරික අනිල් අම්බානි ආදීන් කැපී පෙනිණ. එහෙත්, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රජය අනුගමනය කරන දූෂණයට එරෙහි දැඩි ප්‍රතිපත්ති හේතුවෙන්දෝ ඉන්දීය දේශපාලනඥයින්ගේ නම් පැන්ඩොරා පත්‍රිකාවල සඳහන් වූයේ ඉතා අඩුවෙනි.

කෙසේවෙතත්, සාපේක්ෂව ගත් කළ පැන්ඩෝරා පත්‍රිකා මගින් වැඩිම සුනාමියකට ගොදුරැවූ දකුණු ආසියානු’රට වූයේ පකිස්තානයයි. මෙහිදී මතුවූ විශේෂ කරැණක් වන්නේ ඉතිහාසය යළි යළිත් සිදුවීමයි. එනම්,  වත්මන් පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ට 2018 දී බලයට පැමිණීමට මග සකස් කළේ  2016 දී නිකුත් වූ මෙවැනිම ගවේෂණාත්මක අනාවරණයක් වූ පැනමා පත්‍රිකායි. එහිදී පැවති නවාස් ෂරීෆ් රජයේ දූෂණ වංචා පිළිබද තොරතුරැ සමුදායක් හෙළිදරව් කෙරැණු අතර ඒ හරහා ඉම්රාන් ඛාන්ට දූෂණ විරෝධී සටන් පාඨය ඉදිරියට ගෙන එවකට පැවති නවාස් ෂරීෆ් ආණ්ඩුව ගෙදර යැවීමට තරම්  බලවේගයක් නිර්මාණය කිරීමට හැකියාව ලැබිණ.

හරියටම ඉන් වසර තුනකට පසු ඉම්රාන් ඛාන්ට පැන්ඩෝරා පත්‍රිකා හරහා එදා නවාස් ෂරීෆ් ආණ්ඩුව මුහුණ දුන් ආකාරයේම  දූෂණ වංචා චෝදනාවලට මුහුණදීමට සිදුව තිබීම සුවිශේෂී තත්වයකි. 

මෙවර පැන්ඩෝරා පත්‍රිකා මගින් ඉම්රාන් ආණ්ඩුවේ ප්‍රබලයින්ගේ ඇමරිකානු ඩොලර් මිලියන ගණනක අක්වෙරළ ගිණුම් පිළිබඳ තොරතුරු හෙළි කර තිබෙන අකාරය නිරීක්ෂණය කළ හැකිය. පාකිස්තාන මුදල් අමාත්‍ය ෂාකුට් ටරින්,  ජල සම්පත් අමාත්‍යය මූනිස් එලාහි ආදීන්ගේ නම්  මේ අතර කැපී පෙනේ.  

පැන්ඩෝරා පත්‍රිකාවල ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ නමින් පවත්වාගෙන යන ගිණුම් පිළිබඳ හා බදු නිදහස් රටවල කළ ගනුදෙනු පිළිබඳ තොරතුරු රැසක් හෙළිකර ඇත. මුදල් අමාත්‍ය ‍ටාරින් සතු අක්වෙරළ සමාගම් හතරක් පිළිබඳ තොරතුරු පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණය කර තිබේ. සිය පවුලේ දේපළ විකිණීමෙන් ලැබෙන ලාභය ආයෝජනය කිරීම සඳහා සිංගප්පුරුව හරහා ක්‍රියාත්මක අක්වෙරළ පහසුකම් සැපයීමේ සමාගමක් සමග පවත්වාගෙන ගිය සබඳතා පිළිබඳ අමාත්‍ය එලාහිට අදාළව තොරතුරැ හෙළිදරව් කර තිබේ.

ඉම්රාන් ඛාන්ගේ හිටපු ප්‍රධාන උපදේශක වකාර් මෂූඩ්ගේ පුතෙකුට මෙහිදී චෝදනා එල්ල වී ඇත. ඔහු විදේශීය සමාගමක සම හිමිකරුවෙක් බවට පැන්ඩොරා පත්‍රිකා මගින් සවිස්තරාත්මකව තොරතුරැ හෙළිකර තිබේ. පසුගිය මාර්තු මාසයේදී මාසයේදී ඇමති ධූරයෙන් ඉල්ලා අස් වූ ෆයිසාල් වවුඩාටද  බ්‍රිතාන්‍යයේ ආයෝජන සඳහා අක්වෙරළ සමාගමක් පිහිටුවා ගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇත.

මෙම පත්‍රිකා මගින් පකිස්තානයේ හමුදා ප්‍රධානීන් රැසකට ද අයථා ගනුදෙනු පිළිබද චෝදනා එල්ල කළ අතර එය දිගු කලක පටන් පකිස්තාන හමුදාවේ දූෂණ සහ අක්‍රමිකතා පිළිබද එල්ල වූ චෝදනාවලට තටු ලබාදීමට සමත්ව තිබේ.

පැන්ඩෝරා පත්‍රිකා මගින් හිටපු අමාත්‍ය අමාත්‍යවරයෙක් හා හමුදා ප්‍රධානියෙක් වන නදීර් ෆර්වේස් විසින් බ්‍රිතාන්‍ය අවි ජාවාරම්කරුවෙක් ද සම්බන්ධ කරගෙන බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ් සමාගමක සිදු කර ඇති ආයෝජන පිළිබඳ තොරතුරු හෙළි කර ඇත. ඉන්දියාවේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂකවරයකුගේ පුත්‍රයෙක් පාකිස්තානයේ ලුතිනන් ජෙනරාල් ෂෆාට් උල්ලා ෂාගේ බිරිඳට තෑගි කළ ලන්ඩනයේ සුපිරි මහල් නිවසක් පිළිබඳවද පැන්ඩෝරා පත්‍රිකාවල තොරතුරු සඳහන් වේ. 

මේ හේතුවෙන් දූෂණ විරෝධී බවට පවසමින් දූෂිතයන් රැකීමේ වැඩපිළිවෙලක් පවත්වාගෙන යන බවට අගමැති ඉම්රාන් ඛාන්ගේ රජයට බරපතල චෝදනාවක් එල්ල වී තිබේ. කෙසේවෙතත්, මෙහිදී ඉම්රාන් පාදයක් පසුපසට ගෙන ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කරමින් පැන්ඩෝරා පත්‍රිකාවලින් කළ හෙළිදරව් කිරීම් පිළිබද කඩිනම් විමර්ශනයක් සිදුකරන බව සදහන් කර ඇත. නීති විරෝධී ලෙස ධනය එක් රැස් කර ගත් සියලු දෙනාට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවට ද  ඔහු සහතික වී තිබේ. 

කෙසේවෙතත් පකිස්තාන විපක්ෂය පවසන්නේ එදා පැනමා පත්‍රිකා අනාවරණය වූ අවස්ථාවේ විපක්ෂයේ සිට වීරයෙකු සේ හැසිරැණු ඉම්රාන් දැන් ඉතා සෙමින් හීන්සීරැවේ ඇගබේරා ගෙන කටයුතු කරමින් සිටින බවයි. පැන්ඩෝරා පත්‍රිකාවල නම් සදහන්  ඉම්රාන් ඛාන්ගේ කැබිනට්ටුවේ සියලු දෙනා ඉල්ලා අස්විය යුතු බව පකිස්තාන විපක්ෂයේ අදහස වී තිබේ. මේ සම්බන්ධයෙන් කොමිසමක් පත්කිරීමට පකිස්තාන රජය කටයුතු කරද්දී  විපක්ෂය එය විවේචනය කරන්නේ ගත යුතු ක්‍රියාමාර්ග කල්දැමීම සඳහා පාකිස්තානය අනුගමනය කරන සාර්ථකම ක්‍රමය කොමිසමක් පත් කිරීම් ලෙසයි. මෙය වත්මන් ආණ්ඩුවේ පළමු කොමිසම නොවන බවත් විපක්ෂය චෝදනාත්මකව පෙන්වා දී තිබේ. 

මේ සියලු කරැණු අනුව පෙනීයන්නේ දකුණු ආසියාවේ දූෂණයට එරෙහිව කටයුතු කරන ප්‍රබලතම ආණ්ඩුවක් ලෙස ඇතැම් පාර්ශව මගින් පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ ආණ්ඩුව හදුන්වා දී තිබුණත් සැබෑ තත්වය ඊට හාත්පසින්ම වෙනස් බවයි. පැන්ඩෝරා පත්‍රිකාවලට අනුව නම් එය දකුණු ආසියාවේ දූෂිතම ආණ්ඩුව ලෙස නම් කිරීමට ද පුලුවන. කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ගන්නා ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් අද පකිස්තානයේ පමණක් නොව සමස්ත දකුණු ආසියාවේම අවධානය යොමුව ඇති බව පෙනේ.