Saturday, May 4, 2024

General line - 0115112241

ඔරලෝසුවක් නිසා ඉම්රාන් ඛාන්ට තවත් නඩුවක්




අත් ඔරලෝසුවක් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් හේතුවෙන් පාකිස්තානයේ බලයෙන් පහකළ හිටපු අගමැති ඉම්රාන් ඛාන් විදෙස් රටවල් කිහිපයකට ගොස් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ප්‍රකාශ කර සිටිනවා.

ඔහු සඳහන් කලේ තමන්ට එරට අධිකරණය මගින් සාධාරණත්වයක් ඉටුවේය කියා බලාපොරොත්තු තබා ගත නොහැකි නිසා එම තීරණය ගත් බවයි.

Geo News නාලිකාව විසින් තමන් සම්බන්ධයෙන් නිර්මාණය කරන ලද අත්ඔරලෝසු කතාව පිටුපස පාකිස්තානයේ මුස්ලිම් ලීගය සිටින බවයි හිටපු අගමැතිවරයා චෝදනා කර සිටින්නේ.

තමන්ට සිදුව ඇති අපහසුතාවය වෙනුවෙන් අමෙරිකාවේ සහ එංගලන්තයේ නඩු පවරනු ලබන බවත්, Geo සමාගමේ හිමිකරු ඇතුළු පිරිසට එරෙහිව ඩුබායි හි අධිකරණයක් හමුවේ නඩු පවරනු ලබන බවයි හිටපු අගමැති ඉම්රාන් ඛාන් සඳහන් කළේ.

තමන් ඉයන් බොතම්ට එරෙහිව ද එංගලන්තයේ නඩු පැවරූ බවට මතක් කර දුන් හිටපු පාකිස්ථාන අගමැතිවරයා එම අධිකරණ මගින් Geo News නාලිකාවට එරෙහිව දඩ පැනවීමක් සිදුකල යුතු බවත් එය තම රටවැසියන් මෙන්ම අධිකරණ පද්ධතිය ද සාක්ෂි සහිතව දැක බලා ගත යුතුව පවසා සිටියා.

හිටපු අගමැති ඉම්රාන් ඛාන් Toshakhana වෙතින් අත් ඔරලෝසුවක් මිල දී ගෙන එය විකිණීමෙන් ඔහුට ලැබුණු මුදල් පිළිබඳ නිල වාර්තාවේ කොටසක් බවට පෙන්වා දී තිබුණා. 

Geo News විසින් ඒ පිලිබඳ තොරතුරු මහජනතාව වෙත හෙළිකර තිබුනේ එම ඔරලෝසුවේ ගැනුම්කරු වූ උමාර් ෆාරුක් සහූර් ගෙන් ලද තොරතුරු අනුවයි.

එම ගැණුම්කරු විසින් තමන් මිලදී ගත් අත් ඔරලෝසුව සහ අනෙකුත් භාණ්ඩ පෙන්වූවා පමණක් නොව එය සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු විසින් එවකට අගමැති ඉම්රාන් ඛාන්ට තෑග්ගක් ලෙස ලබා දුන් අත් ඔරලෝසුව බව සනාථ කිරීමට ලේඛනගත සාක්ෂි ද සපයා ඇති බව ද නිව්ස් ඉන්ටර්නැෂනල් වාර්තා කර සිටියා.

ඉම්රාන් ඛාන් ටොෂාකානා වෙතින් ඔරලෝසුව මිල දී ගෙන එය විකුණා තිබෙනවා.

මිල ඇගැයීමෙන් පසු ඔහු මිලෙන් සියයට 20ක් ටෝෂකානා හි තැන්පත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ෂාබාස් ගිල් කියා සිටියේ ඉම්රාන් ඔරලෝසු මිලෙන් සියයට 50 ක මුදලක් තැන්පත් කළ බවයි.

මෙහිදී ඇතිවී තිබෙන බදු වංචා සම්බන්ධයෙන් සහන සැලසීම ආදී කරුණු ගැන ඉම්රාන් ඛාන්ට චෝදනා එල්ලවී තිබෙනවා.