Saturday, April 27, 2024

General line - 0115112241

ඇෆ්ගන් තරඟාවලිය පැරදුණොත් ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන ගමන අවධානමක




අද ආරම්භ වන ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය තීරණාත්මක වී තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ ලබන වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබීමට නම් මෙම තරගාවලියේ පූර්ණ ජයග්‍රහණයක් ලැබීම ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වීමයි.

2023 වසරේ පැවැත්වෙන ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබන්නේ එක්දින තරග 24ක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන 8 සිටින කණ්ඩායම් පමණයි. කණ්ඩායම් 13ක් අතරින් එම කණ්ඩායම් තෝරා ගැනෙනවා. ශ්‍රී ලංකාව මේ වන විටත් ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ 10 වන ස්ථානයේයි. ඒ, එක්දින තරග 18කදී ප්‍රසාද ලකුණු 62ක් ලබාගනිමින්.

ඒ අනුව ශ්‍රී ලංකා පිලට ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබීමට නම් ඉතිරි තරග 6 ජය ගැනීම අතිශය වැදගත්. 
තරගයක් ජයගතහොත් ලකුණු 10ක්ද තරගයක් සමවී, ජය පරාජයෙන් තොරව අවසන් වී හෝ තරගය අත්හැර දැමීමෙන් කණ්ඩායම් දෙකටම ලකුණු 5 බැගින් හිමිවනවා. ඇෆ්ගනිස්ථානය තරග 12කදී ප්‍රසාද ලකුණු 100ක් සමග ප්‍රසාද ලකුණු සටහනේ 7 වන ස්ථානයේ පසුවනවා. ශ්‍රී ලංකාවට පහළින් සිටින දකුණු අප්‍රිකාවට තවත් තරග 8ක් ඉතිරිව තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විටත් සිටින්නේ ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබීමේ අවදානම් ස්ථානයකයි.    

මේ අතර ඇෆ්ගනිස්ථානය සමග අද පස්වරුවේ පැවැත්වෙන පළමු එක්දින තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම හොද සූදානමකින් පසුවන බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසනවා. ඒ, තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින්.

පළමු තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර දිවා රාත්‍රී තරඟයක් ලෙසයි තරගය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ. අද තරගය පස්වරු 2යි 30ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර තරඟාවලියට එක්දින තරඟ 03ක් ඇතුලත්.