Thursday, May 16, 2024

General line - 0115112241

වසර 36කට පසු ආර්ජන්ටිනාව ලෝක පාපන්දු ශූරතාව රැගෙන යයි




වසර 36කට පසු ලෝක පාපන්දු කුසලානයක් සිය රටට දිනාදීමට ලියනෝල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, කටාර් රාජයේ ලුසේල් ක්‍රීඩාංගණයේ පැවති 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී පසුගියවර ලෝක ශූරයන් වූ ප්‍රබල ප්‍රංශ කණ්ඩායම පරාජය කරමින්.

ඉතා උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගයේ පළමු අර්ධයේදී ගෝල දෙකට බින්දුවක් ලෙස පෙරමුණ ගැනීමට ආර්ජන්ටිනා කණ්ඩායම සමත්ව සිටියා.

තරගයේදී 23 වන මිනිත්තුවේදී ලියනෝල් මෙසී ආර්ජන්ටිනාව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළ අතර ඇන්ගල් ඩී. මරියා 36වන මිනිත්තුවේදී ආර්ජන්ටිනාව වෙනුවෙන් දෙවන ගෝලය වාර්තා කළා.

කෙසේවෙතත් තරගයේ දෙවන අර්ධය උණුසුම් මුහුණුවරක් ගත් අතර කිලියන් මබාපේ 80 වන මිනිත්තුවේදී සහ 81 වන මිනිත්තුවේදී ගෝල ද්විත්වයක් වාර්තා කරමින් ප්‍රංශයට යළි බලාපොරොත්තු ගෙන ඒමට සමත් වුණා.

ඉන් අනතුරුව තරගයේ අතිරේක කාලයේ 109 වන මිනිත්තුවේදී යළි ක්‍රියාත්මක වූ ලියනෝල් මෙසී දඩුවම් පහරක් සාර්ථක කර ගනිමින් ගෝලයක් වාර්තා කළා.

එහෙත් තරගයේ බලාපොරොත්තු අත්නොහල ප්‍රංශය වෙනුවෙන් කිලියන් මබාපේ තවත් ගෝලයක් වාර්තා කළේ 118 වන මිනින්තුවේදීයි. ඒ අනුව ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් මහා තරගයක ගෝල ත්‍රිත්වයක් වාර්තා කළ දෙවන ක්‍රීඩකයා ලෙස මබාපේ ඉතිහාසයට එක් වුණා. 

කරට කර සටනක් පැවති මෙම තරගයේ අතිරේක කාලය නිමා වනවිට කණ්ඩායම් දෙකම ගෝල 3 ට තුනක් ලෙස සම තත්ත්වයේ සිටීම හේතුවෙන් තරගයේ ජයග්‍රහණය තීරණය කෙරුණේ දඩුවම් පහර මගින්.

ඒ පිළිබද තවත් තොරතුරු කටාරයේ රැදි සිටින නෙත් විශේෂ නියෝජිත මෙනුක අබේසේකර ගෙන්, 

ආර්ජන්ටිනාව ලෝක පාපන්දු ශූරතාවක් දිනාගත් 3 වන අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක් වනවා. මීට පෙර 1978 වසරේදී සහ 1986 වසරේදී ආර්ජන්ටිනාව ලෝක පාපන්දු ශූරතාව හිමිකර ගෙන තිබෙනවා.

ලොව බිහි වූ විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන ලියනෝල් මෙසී මෙම තරගයත් සමග ලෝක කුසලාන පාපන්දු තරගවලට සමුදුන් අතර ඒ අනුව ලෝක කුසලාන සිහිනය සැබෑ කරමින් සිය සමුගැනීම සටහන් කිරීමට මෙසීට හැකිවීමද විශේෂත්වයක්.