Wednesday, May 15, 2024

General line - 0115112241

ලෝක ශූර මෙසී සමුගැනීමේ තීරණය වෙනස් කරයි




තමන් ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමු නොගන්නා බව ලෝක ශූර ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනෝල් මෙසී පවසනවා.

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් පසු තමන් ලෝක කුසලාන පාපන්දු තරගවලට සමුදෙන බව 35 වන වියේ පසුවන මෙසී මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් ඊයේ පැවති 2022 පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලියනෝල් මෙසී ප්‍රකාශ කර ඇත්තේ ලෝක ශූරයෙකු ලෙස තවත් තරග කිහිපයක් අත්විදීමට තමන්ට අවශ්‍ය බවයි. ආර්ජන්ටිනා ජාතික කණ්ඩායමේ රැදී සිටීම සතුටක් බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

මෙවර සිය 5 වන ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ ලියනෝල් මෙසී සමස්ත තරගාවලියේදී ගෝල 7 ක් වාර්තා කළ අතර තරගාවලියේ හොදම ක්‍රීඩකයාට පිරිනැමෙන ගෝල්ඩන් බෝල් සම්මානයද හිමිකර ගත්තා. 

මීළග පාපන්දු ලෝක කුසලාන තරගාවලිය 2026 වසරේදී පැවැත්වෙන අතර ඒ වනවිට මෙසීගේ වයස අවුරුදු 39ක් වනවා. 

ආර්ජන්ටිනා කණ්ඩායමේ පුහුණුකරු ලයනල් ස්කොලනි ප්‍රකාශ කර ඇත්තේ මීළඟ ලෝක කුසලානය සදහාද මෙසී තම සංචිතයට අවශ්‍ය බවයි. පළමුව මීළඟ ලෝක කුසලාන තරගාවලිය සදහා ආර්ජන්ටිනා කණ්ඩායමේ ස්ථානයක් මෙසී වෙනුවෙන් ඉතිරි කළයුතු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.