Thursday, May 2, 2024

General line - 0115112241

මුහුදු සීමාව නිසා චීනය, පිලිපීනය සමගත් පැටලෙයි




දකුණු චීන මුහුදු සීමාව පදනම් කර ගනිමින් චීනය සහ පිලිපීනය අතර පවතින මතභේදාත්මක තත්ත්වය තවදුරටත් තීව්‍ර වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ චීනය මෙලෙස පිලිපීනය සමග මතභේද වර්ධනය කර ගනිමින් සිටින්නේ පිලිපීන ජනාධිපති ෆර්ඩිනෑන්ඩ් මාකෝස් (ජූනියර්) චීන සංචාරයක් සදහා සූදානමින් සිටින පසුබිමක් තුළයි.

සිය මුහුදු සීමාව උල්ලංඝනය වන පරිද්දෙන් චීනයට අයත් බෝට්ටු හා යාත්‍රා දකුණු මුහුදු සීමාව තුළ යාත්‍රා කරමින් සිටින බව පිලිපීනය චෝදනා කරනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ දකුණු චීන මුහුදේ මතභේදාත්මක කලාප තුළ චීනයට අයත් යාත්‍රා විශාල ප්‍රමාණයක් යාත්‍රා කරමින් ඇති අයුරු දැක්වෙන වීඩියෝ පිලිපීනයේ රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය කරන බවයි.

එම කලාප වලට විශාල වශයෙන් චීන හමුදාවට අයත් බෝට්ටු ඇතුළු වීම කිසිසේත්ම අපේක්ෂා නොකළ සිදුවීමක් බවයි පිලිපීන ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයෙකු සදහන් කර ඇත්තේ.

චීනයේ එම ක්‍රියාකලාපය සිය රටේ ස්වෛරීත්වයට බාධාවක් බව ද පිලිපීනය සදහන් කළා.

කෙසෙවෙතත් චීනයේ මෙම අත්තනෝමතික ක්‍රියාකලාපය හමුවේ පිලිපීනය ජනාධිපතිවරයාගේ චීන සංචාරයට බාධා එල්ල වේද යන්න සම්බන්ධයෙන් පිලිපීනය මෙතෙක් අදහස් ප්‍රකාශ කර නැහැ.

ගිණිකොණ දිග ආසියාව සම්බන්ධයෙන් චීනය සහ අමෙරිකාව අතර පවතින මතභේදාත්මක තත්ත්වයන් සදහා මැදිව සිටින රටවල් අතරට පිලිපීනය ද අයත් වනවා.

ඒ අනුව චීනය සහ අමෙරිකාව සමග සමබරව සබදතා පවත්වා ගැනීමට පිලිපීනය උත්සහ කරමින් සිටිනවා.

පිලිපීන ජනාධිපතිවරයාගේ චීන සංචාරයේ ප්‍රධාන අරමුණක් වන්නේ වන්නේ ද චීනය සමග පවතින සබදතා තවදුරටත් සමබරව පවත්වාගෙන යාමයි.