Wednesday, May 15, 2024

General line - 0115112241

ජය ඝෝෂා මැද ලෝක ශූරයින් ආජන්ටිනාවට




වසර 36 කට පසු පා පන්දු ලෝක කුසලානයක් රැගෙන ලියෝනල් මෙසී ප්‍රමුඛ ලෝක ශූර ආජන්ටිනා පාපන්දු කණ්ඩායම අද සිය මව්රටට පැමිණියා.

විදෙස් මාධ්‍ය පැවසුවේ එරට බුවනෝස් අයර්ස් ගුවන් තොටුපළ වෙත ආජන්ටිනා පාපන්දු කණ්ඩායම එරට වේලාවෙන් අද අලුයම ලගා වූ බවයි.

පා පන්දු ලෝක කුසලානය දිනා ගැනීමේ සතුට සැමරීම සඳහා ආජන්ටිනා රජය අද දිනය බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබීම විශේෂත්වයක්. පාපන්දු ලෝක ශූරයින් සිය මව් රට බලා පැමිණි ගුවන් යානයේ පිටුපස කොටසේ ලියෝනල් මෙසීගේ රුව දක්වා තිබීම ද විශේෂත්වයක් වුණා. 

බුවනෝස් අයර්ස් ගුවන් තොටුපළේ සිට ආජන්ටිනා පා පන්දු කණ්ඩායම එරට පාපන්දු සංගමයේ මූලස්ථානය වෙත ගමන් කළ අතර එම අවස්ථාව දැක බලා ගැනීමට සහ ලෝක ශූරයින්ට සුබ පැතීම සඳහා දහස් ගණනක් වූ ආජන්ටිනා වැසියන් ප්‍රීති ඝෝෂා නගමින් මග දෙපස එක්රැස්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ආජන්ටිනාව පා පන්දු ලෝක කුසලානය දිනා ගැනීමේ සතුට සැමරීම වෙනුවෙන් සංවිධාන කර ඇති ප්‍රධාන උත්සවය අද බුවනෝස් අයර්ස් අගනුවරදී පැවැත්වීමට නියමිතයි.