Wednesday, May 15, 2024

General line - 0115112241

ආර්ජන්ටිනා අගනුවර යුධ පිටියක් වෙයි : මෙසී ඇතුළු කණ්ඩායම ගුවනින් රැගෙන යයි (VIDEO / PHOTOS)




පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කරනු ලැබූ ආර්ජ්නටිනා කණ්ඩායම ඊයේ නැවත සිය මව්රට බලා පැමිණීමෙන් පසු එම කණ්ඩායම පිළිගැනීම සඳහා සුදානම් කර තිබු පෙළපාලිය අතරමග නතර කිරීමට සංවිධායකවරුන්ට සිදුව තිබෙනවා. 

ඒ ලෝක කුසලානය රැගත් ජයග්‍රාහි ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායම බුවනෝස් අයර්ස් අගනුවර පිහිටි ගුවන් තොටුපොළේ සිට  පාපන්දු සංගමයේ මූලස්ථානය වෙත ගමන් කරමින් තිබු විශේෂ බස් රථයට ප්‍රේක්ෂකයින් කඩා පැනීම හේතුවෙන්.

ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායම රැගත් මෙම බස් රථයට ජයග්‍රහණයෙන් ඔද වැදී සිටි ඇතැම් ප්‍රේක්ෂකයින් ගුවන් පාලම් මත සිට පැන තිබු අතර ඇතැම් අවස්ථාවන් වලදී ප්‍රේක්ෂකයින් පාලම් මතින් ඇද වැටී තුවාල ලැබූ බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කර සිටින්නේ.

වසර 36 කට පසු පා පන්දු ලෝක කුසලානයක් රැගෙන ලියෝනල් මෙසී ප්‍රමුඛ ලෝක ශූර ආජන්ටිනා පාපන්දු කණ්ඩායම පිළිගැනීම වෙනුවෙන් ඊයේ දිනයේදී ආර්ජන්ටිනාවට විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ තිබුණා.

මිලියන 04කට අධික ප්‍රේක්ෂකයින් පිරිසක් බුවනෝස් අයර්ස් අගනුවරට රැස්ව සිටි අතර අවසානයේදී ඔවුන් පාලනය කිරීමට නොහැකිවූ විට ලියෝනල් මෙසී ප්‍රමුඛ ලෝක ශූර ආජන්ටිනා පාපන්දු කණ්ඩායම විශේෂ රථ පෙළපාලියෙන් ඉවත් කොට ගුවන් මගින් රැගෙන යාමට සංවිධායකවරුන් පියවර ගනු ලැබුවා.

මේ අතර සිය කණ්ඩායමේ ජයග්‍රහණය සැමරීම සඳහා නිවසේ වහලය මත නැගී ඒ මත දුවමින් සිටි තරුණයෙකු හදිසි අනතුරකට ලක්වීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බවද එරට සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනය කර සිටියා. මේ අතර ඇතිවූ විවිධ සිදුවීම් හේතුවෙන් 05 හැවිරිදි දරුවෙකු ඇතුළු පස් දෙනෙකු කෝමා තත්ත්වයට පත්ව ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

මේ අතර ජයග්‍රහණයෙන් කුල්මත් වූ ආර්ජන්ටිනා ප්‍රේක්ෂකයින් බුවනෝස් අයර්ස් අගනුවර වීථි වලින් ඉවත් කිරීමට කැරළි මර්ධන පොලිස් ඒකකයන් කැඳවීමට සිදුවූ අතර එහිදී මහජනතාව සහ පොලිසිය අතර ගැටුම් ද හටගෙන තිබුණා.